hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 10:30



හොරණ මිල්ලණිය ප්‍රදේශයේ පාසලක දරුවන් තිදෙනකුට පොලිසිය විසින් පහරදී වද හිංසා කිරීමේ පුවතක් වාර්තා වෙනවා.

හොරණ රයිගම ප්‍රදේශයේ පාසලක ගුරුවරියකගේ මුදල් පසුම්බිය නැතිවී තිබීම හා පාසල් කාමරයක දොරගුළු කඩා තිබීම හේතුවෙන් පහ වසර සිසුන් පිරිසකට විදුහල්පතිනිය හා ගුරුවරිය විසින් පහරදී පාසල් පුස්තකාලය තුළට දමා වසා තිබෙනවා. 

පසුව පොලිස් නිලධාරින් ගෙන්වා ගෙන ඇති අතර  ඔවුන්ද මෙම  දරුවන් තිදෙනාට බැටන් පොලුවලින් පහරදී ජීප් රථයේ දමා පාසලෙන් පිටතට ගෙනගොස් ජීජ් රථය තුළ ඇති වයරයක් පතුල්වලට තබා වීදුලි සැර වද්දා වධ දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය අමරසිංහ සදහන් කර සිටියේ  ඉකුත් දෙවැනිදා කර ඇති මෙම පහරදීම පිළිබඳව පෞද්ගලික තොරතුරුකරුවකු මඟින් තමන් වෙත තුන්වැනිදා තොරතුරු ලැබුණු බවත් වහාම ක්‍රියාත්මක වී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි.
.
පහර කෑ දරුවන්ගෙන් මෙන්ම පහේ පන්තියේ අනෙක දරුවන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බවත් දරුවන්ට පහරදී කෲර ලෙස වධ හිංසා කර ඇතැයි එම දරුවන් පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා දුන් වාර්තාවේද සඳහන් වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර  සිටියා.

තවද සභාපතිවරයා සදහන් කර සිටියේ  මේ වන විට පොලිස් ජීප් රථය ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගත් බවයි.

මිල්ලණිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පස්වන ශේ‍ර්ණියේ සිසු දරුවන් තිදෙනෙකුට වධ හිංසා සිදු කිරීමේ සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා එම පාසලේ විදුහල්පතිනිය, ගුරුවරියක හා පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අද (08) කැඳවනු ලබනවා.

මිල්ලණිය පොලිසියේ පොලිස් පරික්ෂකවරයෙක්, සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු මෙම පොලිස් නිලධාරීන් අතර වන බව පැවසෙනවා.