hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 30, ප.ව. 3:56



මහජන බැංකුව විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා අති නවීන ගෙවීම් ලබා ගැනිමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

මේ තුළින් අධිකරණයන් මඟින් පනවන දඩ මුදල් හා අනෙකුත් ගෙවිම් ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා බාධාවකින් තොරව ගෙවීමේ පහසුව මහජනතාවට සැලසේ.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා අතර පසුගියදා අත්සන් තැබිණි.

මේ අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සහ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහභාගි වූහ.

මහජන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය අතර මෙම සහයෝගීතාවය රාජ්‍ය සේවයේ විශාල ඉදිරි පිම්මක් වන අතර, මෙමඟින් කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩිදියුණු වේ. නීති ක්ෂේත්‍රය තුළ විධිමත් සහ පහසු ක්‍රියාවලීන් සඳහා වන අවශ්‍යතාවයන්ට විසඳුම් සෙවීම හා මුදල් ගෙවීම් කටයුතු වලදි මහජනතාවට වඩාත් සුවපහසු අත්දැකීමක් පිරිනැමීම මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.

මෙම නව ගෙවීම් විසඳුමේ ප්‍රධාන ලක්ෂණ වනුයේ,

■ ඩිජිටල් පහසුව: ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් වැනි ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කරමින්, මුදල් භාවිතයෙන් තොරව උසාවි දඩ මුදල් සහ අනෙකුත් ගෙවීම් ක්ෂණිකව සහ පහසුවෙන් පියවා ගත හැකි වීම.

■ වැඩි දියුණු කළ විනිවිදභාවය: සමස්ත ගෙවීම් ක්‍රියාවලිය පුරාම විනිවිදභාවය සහතික කරයි.

■ කාර්යක්ෂමතාව: මෙය ඩිජිටල් ක්‍රියාවලියක් වන බැවින් දඩ මුදල් ගෙවීම් සඳහා ගතවන කාලය සැලකිය යුතු ලෙස අඩු වේ.

■ ආරක්ෂිත ගනුදෙනු: සියලුම ගනුදෙනු ඉතා ආරක්ෂිත බැවින් සංවේදී මූල්‍ය තොරතුරු ආරක්ෂා වේ.

නවින තාක්ෂණය භාවිතා කිරිම තුළින් රාජ්‍ය කාර්ය මණ්ඩලවල පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම සහ පහසු වන අතර, ගෙවීම් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සැකසීමත් සමඟ මුදල් හැසිරවීම, දත්ත ඇතුළත් කිරීම් සහ ගිණුම්කරණ කාර්යයන්ද අවම වනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: