hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 01, ප.ව. 1:18



වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජුනි මාසය සඳහා වන තොරතුරු මේ වනවිට නිකුත් කර තිබෙනවා.

වෙරිටේ රිසර්ච් Verité Research ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ දී පළමු වරට මෙම සමීක්ෂණය සිදු කළ අතර ජුනි මාසයේ දී මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ දෙවැනි වරට යි.

මෙම මත විමසුමේ 2022 ජනවාරි මාසයේ ප්‍රතිඵල හා සාපේක්ෂ ව ජූනි මාසයේ ප්‍රතිඵල බරපතළ පසුබෑමක් පෙන්නුම් කරනවා.

එම සමීක්ෂණය හරහා රජය, රට සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතියේ අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය තක්සේරු කර තිබෙනවා.

2022 ජූනි මාසයේ දී පවත්වන ලද මෙම මත විමසුම පදනම් වී ඇත්තේ, ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,052 දෙනෙකුගේ දීප ව්‍යාප්ත ජාතික නියෝජිත ප්‍රතිචාර නියැදියක් මත යි.

එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය. මෙම සමීක්ෂණයේ පළමු මත විමසුම සිදුකළ ගෙවුණු ජනවාරි මාසයේදී, එම මට්ටම 10%ක් විය.

රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ ද? යන්නත් මෙම ජනමත විමසුමේදී, අවධානයට ගෙන තිබෙන අතර, ජූනි මාසය සඳහා එය දැක්වෙන්නේ ජනතාවගෙන් 2%ක් රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන සෑහීමකට පත්වන ලෙසය. ජනවාරි මාසයේ එම ප්‍රමාණය 6%ක මට්ටමේ පැවතිණ.

ආර්ථිකය ගැන විශ්වාසකර තිබෙන ඇගයුමේ දී, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ ඍණ 96 ක් (-96) ලෙසය. මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප්‍රශ්න භාවිත කර තිබෙන අතර, එම ප්‍රශ්නවලට ලැබී තිබෙන ප්‍රතිචාරයන් ඍණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන තිබෙනවා.

මෙම ක්‍රමවේදය අනුව, සම්පූර්ණ +100ක අගයක් ලැබෙන්නේ සියලුම දෙනා ආර්ථිකය විශිෂ්ට තත්ත්වයක සහ එය හොඳ අතට හැරෙමින් තිබෙන බව විශ්වාසකරන්නේ නම් පමණයි. අනෙක් අතට සම්පූර්ණ ඍණ 100යක අගය ලැබෙන්නේ සියලුම දෙනා ආර්ථිකය අයහපත් තත්ත්වයකත් සහ එය තවත් නරක අතට හැරෙම්න් පවතින්නේය යන්න විශ්වාස කරන්නේ නම් වේ. අතරමැදි අගයන් ලැබෙන ප්‍රතිචාරයන් ප්‍රමාණය මත තීරණය වන අතර, 0ට ඉහළ, එනම් ධන අගයන් හිමිවන්නේ ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන යහපත් අදහසක් ඇතිව සිටින්නේ නම් වේ.

මෙහිදී, ආර්ථිකය හොඳ මට්ටමක පවතින බව ප්‍රකාශ කර තිබෙන්නේ 1.8% කි. 1.3%ක් ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බව ප්‍රකාශ කර තිබෙනවා.

කිසිවෙක්වත් ආර්ථිකය විශිෂ්ට තත්ත්වයක පවතින බව ප්‍රකාශ කර නෑ. ආර්ථිකය ගැන විශ්වාසය ගෙවුණු ජනවාරි මාසයේ පැවතියේ ඍණ 83ක (-83) අගයකය.

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජන මතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැළපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: