hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 14, පෙ.ව. 7:50



මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඊළඟ අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිත නමුත් එම පීඨය සඳහා කිසිදු ගොඩනැඟිල්ලක් මේ වන තෙක් ඉදි කොට නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා.

මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා සඳහන් කරන්නේ පීඨයේ මහාචාර්ය ඒකකය නාගොඩ රෝහල ආශ්‍රිතව පිහිටුවීමට තීරණය කොට ඇති නමුත් එහි අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා දැනට තෝරාගෙන ඇති අක්කර 15ක කළුතර නාගොඩ ඉඩම අත්පත් කර ගැනීම පිණිස ප්‍රතිපාදන ලැබී නොමැති බවයි.

ඒ සඳහා බැංකු ණයක් ලබා ගැනීමට රජය විසින් උපදෙස් ලබා දී ඇති නිසා ඒ අනුව කටයුතු කරමින් පවතින බවද මහාචාර්යවරයා පැවසුවා.

මොරටුව විශ්ව විද්‍යාලය මූලික වශයෙන් ගණිත, විද්‍යා, ඉංජිනේරු සහ තාක්ෂණ විෂයන් මූලික කරගත් උපාධි පාඨමාලා පමණක් පවත්වන බව උපකුපතිවරයා දැනුම්දුන්නේ කොප් සභාපතිවරයා කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින්.

වෛද්‍ය පීඨයේ තුන්වන සහ අවසාන අධ්‍යයන වර්ෂ සඳහා නියමිත අධ්‍යයන කාර්ය මණ්ඩලය නියමිත පරිදි ලබාදෙන ලෙසද උපකුලපතිවරයා මෙහිදී ඉල්ලා සිටියා.

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මේ වන විට අධ්‍යයන වර්ෂ දෙකක සිසුන් අධ්‍යාපනය ලබනවා.

මෙහිදී කෝප් සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන්නේ මේ පිළිබඳ සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මෙම කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මොරටුව විශ්වවිද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාදනය විමර්ශනය කිරීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: