hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 22, පෙ.ව. 9:45



මියන්මාරයේ පසුගියදා පැවැත්වූ “Mrs Grand International -2022“ තරගයට ඉදිරිපත් වූ තමන්ගෙන් එම තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂවරයා ලිංගික අල්ලස් ඉල්ලූ බව මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගත් රසාංගි චාමිකා මහත්මිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ ඊයේ (21) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Mrs grand international හි ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂවරයා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවත් මෙරට තහනම් මත්ද්‍රව්‍යයක් වන ගංජා නොහොත් ඔහු පැවසූ ආකාරයට ජොයින්ට් එකක් ගහන්න රැයක් සිටීමට පැමිණෙන ලෙස දුරකතනයෙන් තමන්ට ආරාධනා කළ බවත් ඇය කියා සිටියා.

තමන් යහළුවෙක් සමඟ පැමිණෙන බවට කළ දැනුම් දීමට අනුව ඔහු තමන්ට හිමි පහසුකම් කපා හැර මියන්මාරයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කළ බව ද ඇය ප්‍රකාශ කළා.

ඊට අදාළව හඬ පටය ද මෙහිදී මාධ්‍යවේදීන්ට මුදා හළ ඇය එවැනි හඬපට ගණනාවක් තමන් සතුව ඇති බවද සඳහන් කළා.

තමන් මියන්මාරයේ එකී තරගයට එක් වෙමින් ගුවන්තොටුපළ සිට නැවත මෙරටට පැමිණෙන තෙක් විඳි දුක් ගැහැට සම්බන්ධයෙන් ද ඇය මෙහිදී පැවසුවා.

තරගයට අදාළ මුදල් නොගෙවීම මත අවසන් තරගයට සහභාගී වීමට නොහැකි බව එහි සංවිධායකයන් දැනුම් දුන් බවත් මෙරට සිටි ඥාතීන්ට මුදල් යැවීමට අවසර නොමැති බවට මහ බැංකුව කළ දැනුම් දීමකට අනුව අමෙරිකාවේ සිටි තම ස්වාමිපුරුෂයා ඩොලර් එවූ බවත් ප්‍රකාශ කළා.

එහෙත් ඒ වන විට තරග සංවිධායකයන් විසින් තමන් අවසන් පේළියට යොමු කර තිබූ බව කී ඇය තමන්ට වඩා උස ඉන්දීය කාන්තාවක් ඉදිරියෙන් සිටි නිසා තමාව වේදිකාවට නොපෙනුණ බවත් සඳහන් කළා.

මෙහිදී ඇයගේ නීතිඥ සඳරුවන් සේනානායක මහතා පැවසුවේ සේවාදායිකාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කීරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ශ්‍රී ලංකාව රටවල් 25ක් ඉදිරියේ අසීරුතාවට පත් වූ බව අවධාරණය කළ නීතිඥවරයා රටට සහ තම සේවාදායකයාට සිදු වූ අපකීර්තියට අද (22) Mrs grand international හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයාට එරෙහිව එන්තරවාසියක් යොමු කරන බවත් ඔහු සිදු කරන ඉදිරි වැඩසටහන් සඳහා වාරණ නියෝගයක් ගන්නා බවද හෙතෙම පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: