hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 19, ප.ව. 9:46



මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිදුවීම ආරක්ෂක අංශ සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය සහ සහයෝගීතාව කඩකප්පල් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් සිදුකරනු ලැබූ උත්සාහයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි යුද හමුදාව පවසනවා.

ඊයේ මෙම සිදුවීමේදී කලහකාරී පිරිසට අනතුරු අගවමින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් තබා කලහකාරී පිරිසගේ උත්සාහය ව්‍යර්ථ කරනු ලැබූ බවයි හමුදාව ප්‍රකාශ කළේ.

මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේ ආරක්‍ෂක මුරපොළක සේවයේ නියුතුව සිටි යුද හමුදා භටපිරිස් කුපිත කරවීමේ අරමුණින් බීමත්ව සිටි පිරිසක් විසින් සැලසුම් සහගතව ඊයේ (18) සෙනසුරාදා දින රාත්‍රී 08.00ට පමණ එම සෙබළුන් වෙත වීදුරු බෝතල් සහ ගල් ප්‍රහාරයන් එල්ලකර ඇති බව යුද හමුදාව පෙන්වා දෙනවා.

අනතුරුව එම හමුදා භටපිරිස් ඔවුන් වෙත අනතුරු අඟවමින් අහසට වෙඩි ප්‍රහාරයන් කිහිපයක් තබා කලහකාරී පිරිසෙහි උත්සහයන් ව්‍යාර්ථ කරනු ලැබූ බවයි හමුදාව කියාසිටියේ.

පොලිස් නිලධාරීන් මෙන්ම අතිරේක භටපිරිස් එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම සිදුවීමෙන් යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිදුවීම ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය සහ සහයෝගීතාවය අවශ්‍යයෙන්ම කඩාකප්පල් කිරීමේ අරමුණ පෙරදැරිව යම් සැකකටයුතු පිරිසක් විසින් සිදුකරනු ලැබූ උත්සහයක් බවට මූලික විමර්ශනවලින් තහවුරු වී ඇතැයි යුද හමුදාව ප්‍රකාශ කළා.

යුද හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා විශ්වමඩු පොලිසිය වෙත භාර දී තිබෙනවා.