hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 31, ප.ව. 12:57



තාරුණ්‍යයට හෙටක් පදනම සංවිධානය කළ 2014 හම්බන්තොට දිස්ත්‍රික් පොසොන් කලාපයට ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් විදුලි උත්පාදන යන්ත්‍ර (ජෙනරේටර්වලට) ගෙවිය යුතු රුපියල් 1,122,889.14ක මුදලක් මේ වන තෙක් ගෙවා නැති බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසනවා.

මෙම පොසොන් කලාපයට ලංවිමෙන් 380KVA විදුලිජනක යන්ත්‍ර 2ක්, 350KVA විදුලිජනක යන්ත්‍රයක්, 300KVA විදුලිජනක යන්ත්‍ර 2ක් හා 250KVA විදුලිජනක යන්ත්‍ර 2ක් කුලී පදනම මත ලබා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම පොසොන් කලාපය සංවිධානය කර තිබෙනවා.

එම පොසොන් කලාපයට අදාළව WAS/PP/TCN/01 හා 2014.05.29 දින රුපියල් 1,522,889.14ක් (පහළොස් ලක්ෂ විසි දෙදහස් අටසිය අසූ නවයයි ශත දහහතර) වටිනා ඇස්තමේන්තුවට අනුව තාරුණ්‍යයට හෙටක් පදනම විසින් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 400,000.00ක් ලංකා විදුලි බල මණ්ඩල වෙත ගෙවා තිබෙන බව සඳහන්.

2019 මාර්තු 25 දින ලංවිම විසින් ලිපියක් මගින් ඉතිරි හිඟ මුදල වන රුපියල් 1,122,889.14 ගෙවන ලෙස තාරුණ්‍යයට හෙටක් පදනම සංවිධානය දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විදුලිජනක යන්ත්‍ර කුලී පදනම මත ලබා ගැනීම වෙනුවෙන් ලංවිමට අයවිය යුතු රුපියල් 1,122,889.14ක මුදල නොගෙවා ඇති බව දන්වා ලංවිම නීති නිලධාරිවරයා විසින් 2018 මැයි 31 වන දින එන්තරවාසියක් ද යොමු කර තිබෙනවා.

අදාළ මුදල දින 14ක් තුළ නොගෙවුවහොත් එම මුදල අයකර ගැනීම වෙනුවෙන් නඩු පවරන බවද නීති නිලධාරිවරයා විසින් අවධාරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් මේ වනතෙක් අදාළ හිඟ මුදල ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවා ඇති බව රන්ජන් ජයලාල් මහතා පවසනවා.