hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 02, පෙ.ව. 6:18



රටේ ආර්ථිකය වඩාත් යහපත් කිරීම උදෙසා මෙම වසර මුල් කාර්තුවේ පොලී අනුපාත පහත හෙලා උද්ධමනය අඩු කිරිම ඉලක්ක කොටගෙන මේ වන විට වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා.

මේ වන විටත් උද්ධමනය යම් අඩුවීමකට පත්ව ඇතැයි කී ඒ මහතා මෙම වර්ෂයේ පළමු කාර්තුව පමණ වන විට උද්ධමනය තව දුරටත් පහළ යනු ඇතැයි සඳහන් කළා.

මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා ඊයේ (01) දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව ඒ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටු අතර පසුව අස්ගිරි මහා විහාරයේදි එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

මහා නායක හිමියන් බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථීක ස්ථාවර කිරීමේ වගකීම මෙම වර්ෂයේදීත් දරන බව කියා සිටියා.

ඉකුත් වර්ෂයේදී පැවැති ආර්ථික අසීරුතාවලින් මිදී රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක් කරා රැගෙන ඒමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වන උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් පවතින බවත් මේ වන විට සැලකිය යුතු අයුරින් උද්ධමනය පාලනය වෙමින් පවතින බව ඒ මහතා කියා සිටියා.

මහනුවර – කමල් සුරවීර