hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 20, පෙ.ව. 7:16



ජාතික ඖෂධ නියාමන අධිකාරිය  විසින් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රාජකාරියට වාර්තා කරන දිනකට දින එකහමාර බැගින් දිමනා ගණනය කොට ඉකුත් වර්ෂ දෙක තුල (2020,2021) රුපියල් හය කෝටි විසිඑක් ලක්ෂ දාසය දහස් අටසිය හැත්තෑ තුනක (62,116,873) මුදලක් අධිකාරියේ කාර්යමණ්ඩල සදහා ගෙවා ඇති  බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

අධිකාරිය විසින් කාර්ය මණ්ඩල සදහා කොවිඩි 19 දිරි දිමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කොට සාමාන්‍ය රාජකාරි දින හා  නිවාඩු දිනයන් ලෙස නොසලකා මෙම දීමනා ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

2020 වර්ෂයේ දි  මෙසේ දිමනා ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ හතලිස්තුන් දහස් හත්සිය අසු එකක (17,843,781)  මුදලක් හා 2021 වර්ෂයේ දි රුපියල් හාරකෝටි හතලිස් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් අනූ දෙකක (44,273,092) මුදලක් දිමනා ලෙස ගෙවා තිබෙනවා.

එමෙන්ම අධිකාරියේ සභාපතිවරයාට ද 2021 වර්ෂයේ දී චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව කොවිඩි 19 දීමනා ලෙස රුපියල් 454,827ක මුදලක් කිසිදු අනුමැතියකින් තොරව ගෙවා තිබු බවද විගණන  වාර්තාවේ සදහන් වෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ මේ වන විට මෙම ගෙවිම් අත්හිටුවා ඇති බවයි.

ගෙවූ දිමනා ආපසු අයකර ගැනිමට හෝ  භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනිමට කටයුතු හෝ කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.

ලලිත් චාමින්ද