hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 23, ප.ව. 2:16



නිධානයකින් ගොඩගත් බව කියන මාතංගේශ්වරී සහ සරස්වතී තෛලය අඩංගු බව කියන කළු ගලින් නිර්මාණය කරන ලද බෝතල් දෙකක් ඇතුළු තවත් පෞරාණික යැයි කියන භාණ්ඩ තොගයක් රුපියල් කෝටි තුනකට විකිණීමට රැගෙන ආ විශ්‍රාමික හමුදා සෙබලෙක් ඇතුළු තිදෙනකු කළුතර උතුර ප්‍රසිද්ධ හෝටලයක රථ ගාලක දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

එම සැකකරුවන් සමඟ මාතංගේශ්වරී තෛලය අඩංගු බව කියන කිලෝ එකහමාරක් පමණ බරති කළු ගලින් නිර්මාණය කරන ලද පොල් ගෙඩියක හැඩයෙන් යුත් ධාවනයක් අඩංගු බෝතලයක්, විවිධ පාට 4කින් යුත් රන් පැහැති පළඳනාවක්, රන් පැහැති කුඩා කරඬුවක්, රන් පැහැති ආභරණ, පොළව අභ්‍යන්තරයේ පිහිටි නිදන් වස්තු හඳුනාගන්නා ස්කෑන් යන්ත්‍රයක්, අගල් බාගයක පමණ ඝනකමින් යුත් ශෛලමය සෙල් ලිපියක්, සරස්වති තෛලය අඩංගු බව කියන කළු ගලින් නිර්මාණය කරන ලද ග්‍රෑම් 250ක පමණ බරකින් යුත් පොල් ගෙඩියක හැඩයකින් ද්‍රාවණයක් අඩංගු බෝතලයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කළු ගලින් නිර්මාණය කරන ලද ද්‍රාවණයක් අඩංගු උපකරණය වටා විවිධ අක්ෂර කොටා තිබූ බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරගහකන්ද, ගන්දර හා අලූත්ගම පදිංචි වයස අවුරුදු 34 හා 42 අතර පසුවන්නන් බවත් සැකකරුවන් කළුතර උතුර පොලිසිය වෙත භාරදී ඇති බව වාර්තා වෙනවා.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පරීක්ෂණ පවත්වනවා.