hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 16, ප.ව. 12:19



නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරය අනිද්දා (18) සිට මාස දෙකකට අධික කාල සීමාවක් වසා දැමීමට තීරණය කොට තිබෙන බව වාර්තා වෙනවා.

වසර පහකට වතාවක් සිදු කළ යුතු මෙම අනිවාර්ය නඩත්තුව සඳහා අවම දින 75ක පමණ කාලයක් ගතවන බව විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පුවත්පතකට සඳහන් කොට තිබෙනවා.

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 270ක් දෛනිකව සපයන අතර ඩීසල් බලාගාරයන් සඳහා උග්‍ර ඩීසල් හිඟයක් ඇති මොහොතක මෙලෙස නොරොච්චෝලේ බලාගාරය වසා දැමීම දැඩි විදුලි අර්බුදයකට මග පාදන බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළා.

ඩීසල් අර්බුදය හමුවේ රටට අවශ්‍ය විදුලි ඉල්ලුම සැපයීම සඳහා මේ දිනවල ජල විදුලි බලාගාරවලට අමතරව විශාල සහායක් ලබා දී ඇති නොරොච්චෝලේ බලාගාරය මෙලෙස තාවකාලිකව වසා දැමීමෙන් අහිමි වන විදුලි ධාරිතාවන් ඩීසල් බලාගාරයන්ගෙන් ලබාගත යුතු බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසුවා.

ජල විදුලි බලාගාරයන්ගෙන් ජාතික පද්ධතියට විදුලිය එක් කිරීම ඊයේ (15) වනවිට සියයට 59 දක්වා පහත වැටී ඇති බව විදුලිබල මණ්ඩල දත්තවලට අනුව සඳහන් වෙනවා.

මේ වන විට ජාතික විදුලිබල පද්ධතිය සඳහා සුළං බලාගාරවලින් ද අවම දායකත්වයක් ලබා ගන්නා අතර ඉදිරියේදී නොරොච්චෝලේ බලාගාරය මෙලෙස වසා දැමීමෙන් පුරප්පාඩු වන විදුලි ධාරිතාවෙන් වැඩි කොටසක් ජල විදුලි බලාගාරවලින් පිරිමසා ගත යුතු වුවද ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාව ලැබීම ද පෙර දිනයන්ට සාපේක්ෂව අඩු වී ඇතැයි සඳහන් වෙනවා.

මේ තත්ත්වය හේතුවෙන් කාර්යබහුල වේලාවන්හිදී අවශ්‍ය කෙරෙන මෙගාවොට් 2700කට ආසන්න විදුලි ධාරිතාව සැපයීමට අපොහොසත් වුවහොත් දෛනික විදුලි කප්පාදු පැය ගණන වැඩි කිරීමට සිදු වන බවද විදුලිබල මණ්ඩලය ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.

මේ හේතුවෙන් විදුලි කප්පාදුව පැය 12 මට්ටමකට යා හැකි බවටද අනතුරු ඇඟවීමක් සිදු කරනවා.