hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 5:43



නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශය තුල 2020 – 2022 වසර තුනක කාලයක් වරිපනම් බදු නගර සභාව වෙත නොගෙවූ අයගේ දේපල ඉදිරි සතිය තුළ නගර සභා භාරයට ගැනීම කටයුතු කරන බව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ඒෂියන් මිරර් වෙත පැවසුවා.

නුවරඑළිය මහ නගර සභාව සීමාවට අයත් නිවාස වෙළඳසැල්, සංචාරක හෝටල් සහ ඉඩම් සදහා කාර්තුවෙන් කාර්තුවට මහ නගර සභාව වෙත ගෙවිය යුතු වරිපනම් බදු මුදල් නොයෙකුත් හේතූන් මත ඇතැම් පිරිස් විසින් ගෙවා නොමැති බවත්, එම වසර තුනක කාලය තුල නුවරඑලිය මහ නගර සභාවට වරිපනම් බදු වශයෙන් රුපියල් කෝටි 08ක පමණ මුදලක් අය විය යුතුව ඇති බවයි එම නගගර සභාවේ ආදායම් අංශයේ නිලධාරියෙකු කියා සිටියේ.

එසේ වරිපනම් බදු හිතාමතා ගෙවිම් මග හැර සිටින අයවලුන්ගේ දේපල මහ නගර සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සතිය ඇතුලත තහනම් කරන බව සදහන් කරමින් නුවරඑළිය නගරයේ ස්ථාන කිහිපයකම රතු නිවේදන ප්‍රදර්ශනය කරමින් හා වරිපනම් බදු නොගෙවු අයට අත් පත්‍රිකා ලබා හරිමින් නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය පොදු ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට අනතුරු අගවා තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ ව්‍යාපාරිකයන් හා මහජනතාව සඳහන් කර සිටියේ වසර තුනක කාලයක් මුළුල්ලේ ඇතිවුණු නොයෙකුත් ගැටළු කාරී හා ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ උද්ගත වූ ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් මහා නගර සභාවට ගෙවිය යුතු වරිපනම් මුදල් ගෙවීමට නොහැකි වු බවත්, ආර්ථික වශයෙන් මේ වන විට තමන් ගැටළු රැසකට මැදි වි සිටින නිසා වරිපනම් නොගෙවීම හේතුව මත නගර සභාව විසින් තම දේපල පවරා ගැනිමක් සිදු වුවහොත් තමන් කබලෙන් ලිපට වැටෙන බවයි.

වරිපනම් බදු නොගෙවිම නිසා වරිපනම් බදු නොගෙවු අයගේ දේපල නගර සභාව පවරා ගැනිම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති හා මුදල් කාරක සභාවේ සභාපති චන්දන ලාල් කරුනාරත්න මහතා කියා සිටියේ මහජනතාව හා ව්‍යාපාරිකයන් පත්ව ඇති ආර්ථික අපහසුතා සහ අසීරුතාවයන් තමන්ට තේරුම් ගැනීමට හැකි වන බැවින් ඔවුන්ට ඇති ගැටළුකාරී තත්වයන් පිළිබඳ තමන්ට ලිඛිතව දැනුම් දුනහොත් ඒ පිලිබදව සියළුම පාර්ශවයන් සමග සාකච්ඡා කර හිග වරිපනම් බදු ගෙවිමට යම් සහන කාලයක් ලබාදිමට පියවර ගන්නා බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ