hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 11:53



2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ලෙස පසුගියදා (21දා) සිට බලාත්මක වූ මෙම නව පනත හරහා ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා  ප්‍රතිපාදන සලසා දීම සිදුව තිබෙනවා.

මෙපමණ කාලයක් පුරා මෙරටට ඉන්ධන ගෙන්වීම හා බෙදාහැරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සිදු කරන ලද අතර මෙම නව සංශෝධන පනත හරහා ඉන්ධන ගෙන්වීම සහ රට තුළ ඉන්ධන බෙදා හැරීමට අනෙකුත් ජාත්‍යන්තර ඉන්ධන සමාගම්වලටද අවස්ථාව සැලසෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගෙන්වීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය තවදුරටත් ලිහිල් වුණා.

මෙරට ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස මෙම නව සංශෝධිත පනත ගෙන ආ අතර මෙරටට ඉන්ධන ගෙන්වීමේ හා බෙදාහැරීම සිදු කෙරෙන අනෙකුත් සමාගම් සුවිශේෂී කමිටුවක් විසින් තෝරනු ලැබෙනවා.

ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

මේ සඳහා අනුමැතිය හිමි වූයේ විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.