hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 16, පෙ.ව. 6:20



බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග මෙහෙවරක් ඉටුකළ හෙළ පඬිරුවනක් වූ ඔලබොඩුව රජ මහා විහාරාධිපති, තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ප‍්‍රධාන කර්මස්ථානාචාර්ය, ගෞරව ශාස්ත‍්‍රවේද, අති ගෞරවාර්හ උඩුවේ හේමාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (2023.11.15) දින අපවත් වී වදාළහ.

අපවත් වනවිට 73 වැනි වියේ පසුවූ අප මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔලබොඩුව රජ මහා විහාරයේ වර්තමාන සංවර්ධනයේ ප‍්‍රධාන නියමුවා ද වන්නේය.

වර්ෂ 1961 වර්ෂයේ බෝධිසත්ව ගුණෝපේත පූජනීය වීදියගොඩ පේමරතන මහ තෙරුන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් පැවිදි බිමට පත් වූ අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ හොරණ විද්‍යාරත්නයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් ධර්ම ශාස්ත‍්‍රය හදාරා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධිය ද ලබාගෙන මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල උපෝසථාගාරයේදී උතුම් වූ උපසම්පදා ශීලයට ද පත් වී උසස් වූ තම ශාසනික මෙහෙය ආරම්භ කළ යතිවරයාණන් වහන්සේ නමකි.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය පරපුරෙන් ප්‍රභවය වූ පහතරට සම්භාවනීය වීදියගොඩ සඟ පරපුරෙහි ජ්‍යෙෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක වූ අප මාහිමිපාණන් වහන්සේ උගත්කමින් පරිපූර්ණත්වයට පත්ව තමන් උගත් බුදුදහම ප්‍රායෝගිකව හදාරනු පිණිස විදර්ශනා සම්ප්‍රදාය අනුගමනය කරමින් භාවනා ප්‍රගුණ කොට කම්මට්ඨානාචාර්‍යයන් වහන්සේ නමක වශයෙන් බෞද්ධ අබෞද්ධ සැමට භාවනා ඉගැන්වීමට කටයුතු කළේය.

තලගල මංගලාරාම මහා විහාරය, සුවාරපොළ තපෝදාරාමය, අනුරාධපුර සිරි සුගත යෝගාශ්‍රමය යන විහාරත්‍රයාධිපති හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කළුතර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ධර්ම කීර්තී ශ්‍රී සිද්ධාර්ථ සුමනරතනාභිධාන පානදුර තොටමුණ සහිත රයිගම් සල්පිටි කෝරළද්වාරයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහෝදර හිමිනමක් වූද, ඔලබොඩුව රාජමහා විහාර භාරකාර, ඉතාලියේ මිලානෝ ලංකාරාමාධිපති, වීදියගොඩ ශ්‍රී සාමග්‍රි සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ, බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය, ශාස්ත්‍රපති, පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේද වේ.

තවද අප උඩුවේ හේමාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම කාරුණික සේවය ආගමික අංශයට පමණක් සීමා නොකර අධ්‍යාපනික අංශයට ද යොමුකොට ලංකාවේ විවිධ පළාත්වල පාසල් ගණනාවකම ගුරුවරයෙකු වශයෙන් දහස් ගණනක් වූ සිසු දරු දැරියන්ගේ නුවණැස පෑදීම පිණිස කටයුතු කළේය. මෙසේ අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ හම්බන්තොට, කිරම ධම්මානන්ද විද්‍යාලය ආදී ඈත දුර බැහැර ප‍්‍රදේශවල පිහිටි පාසල්වල පවා සේවය කරනු ලැබීය. ඔලබොඩුව ශ‍්‍රී සුමංගල මහා විද්‍යාලයේ ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ අතරම ඔලබොඩුව රජ මහා විහාරයේ අධිපති පදවියට 1994 දී පත් වූ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද පවතින තත්වයට ගෙන ඒම පිණිස සියලු කටයුතු සිදු කළේය.

සතර පේරුවේ දායක ගම් රාශියකින් සමන්විත ඔලබොඩුව රජ මහා විහාරයට අයත් දායක කාරකාදීන්ගේ මෙන්ම රජ මහා විහාරයට සම්බන්ධ සියලූ චාරිත‍්‍ර හා වත් පිළිවෙත් කිසිදු බරකින් හෝ වෙහෙසකින් තොරව ඉටු කරන අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවතින තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ද වැඩම කරමින් එහි වැඩසිටින භාවනා යෝගී භික්ෂු සංඝයාට මෙන්ම යෝගාවචර උපාසක උපාසිකාවන්ට ද සුදුසු කමටහන් දෙමින් ඔවුන් ආර්ය මාර් ගයට යොමුකරමින් තමන් ද කර්මස්ථාන වඩමින් කටයුතු කළේය.

අපවත් වී වදාළ ඔලබොඩුව රාජමහා විහාරාධිපති තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත‍්‍රවේදී ප‍්‍රධාන කර්මස්ථානාචාර්ය අති ගෞරවාර්හ උඩුවේ හේමාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා.

ආදාහන පූජෝත්සවය ලබන 19 වනදා පස්වරු 3.00ට ඔලබොඩුව රාජ මහා විහාරස්ථ පූජා භූමි පරිශ්‍රයේදී සිදු කෙරේ.