hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 11, ප.ව. 7:13



ඓතිහාසික ඔ‍ලබොඩුව රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල ඊයේ (10) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආගමික උත්සවයකදී විවෘත කර මහා සංඝරත්නය වෙත පූජා කළා.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ බොරලැස්ගමුව ඇක්වෝරා ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිශාන්ත තිලකරත්න මහතාගේ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉන්ජිනේරු බලඝණය විසින් මෙම තෙමහල් සංඝාවාසය ඉදිකර තිබුණා.

තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමේ සන්නස් පත්‍රය ඔලබොඩුව රාජ මහා විහාරාධිපති සහ තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ප්‍රධාන කර්මස්ථානාචාර්ය, ශාස්ත්‍රවේදි පණ්ඩිත උඩුවේ හේමාලෝක හිමියන් වෙත අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගැන්වූවා.

තෙමහල් සංඝාවාස මන්දිරය සඟසතු කර පූජා කර අනුශාසනාව පැවැත්වූයේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක, ආචාර්ය අතිගෞරවාර්හ නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

තත් විහාරාධිපති අතිපූජ්‍ය උඩුවේ හේමාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඔලබොඩුව රාජමහා විහාර භාරකාර, ඉතාලි මිලානෝ ලංකාරාමාධිපති, වීදියගොඩ ශ්‍රී සාමග්‍රි සංඝ සභාවේ ප්‍රධාන ලේකඛාධිකාරි, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය, ශාස්ත්‍රපති, පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් හා අධීක්ෂණයෙන් විහාරස්ථ දායක සභාව, ශ්‍රී සුමංගල දහම් පාසල, නවම් මහා පෙරහර කමිටුව, ශ්‍රි සුධර්මා කුළගන සමිතිය ආදී සංවිධානවල කැපවීමෙන් හා ශ්‍රම දායකත්වයෙන් මෙම අභිනව තෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ පුණ්‍යොත්සවය සංවිධානය කෙරුණා.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත පහමුණේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගල්කිස්ස, බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි‍යාභිධාන කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වැඩමවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් මෙම ආගමික උත්සවයට සහභාගි වී සිටියා.