hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:26



හදවත අකර්මන්‍ය වූ ගැබිනි මවකට පැය දෙකක කාලයක් හෘද පුප්පුශීය පුනර්ජීවනය (කෘතීම හෘද ස්පන්දනය) දෙමින් කළ සිසේරියන් සැත්කමකින් පසු බිලිඳා සහ මව බේරා ගැනීමට හලාවත මහා රෝහලේ කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.

මේ මව ඉතා අසාධ්‍ය තත්වයේ සිට ඇති අතර, ඇගේ දරු ගැබට සති තිස් දෙකක කාලයක් ගතව තිබී තිබෙනවා.

මේ මව හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ගල්මුරුව පර්යන්ත රෝහලේ සිට පසුගිය 20 දා රාත්‍රි 11.25ට පමණ වන අතර, වහා ක්‍රියාත්මක වූ හලාවත මහ රෝහලේ කාර්ය මණ්ඩලය, හලාවත මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා මහතා දැනුම්වත් කිරීමෙන් පසු විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් ශල්‍යාගාරයට ඇතුළත් කර ඇති නමුත් මවගේ හදවත අකර්මන්‍ය වී තිබෙනවා.

ඉන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ කාර්ය මණ්ඩලය මවට හෘද පුප්පුශීය පුනර්ජීවනය දෙමින් සිසේරියන් සැත්කම කර දරුවා ගැනීමටයි ක්‍රියා කර ඇත්තේ.

මවගේ හදවත යථා තත්ත්වයට පත් වීමට පැය දෙකක පමණ කාලයක් ගත වී ඇති අතර, ඒ වන තෙක් අඛණ්ඩව මවට හෘද පුප්පුශීය පුනර්ජීවනය දීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

මේ වන විට මව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කර ඇති අතර, බිලිඳිය හලාවත මහ රෝහලේ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ හලාවත මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා මහතා කියා සිටියේ තම වසර විසිපහක වෛද්‍ය ජීවිතයේ මෙවැනි අත්දැකීමක් නැති බවයි.

වෛද්‍ය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ කැපවීම මත මේ ජිවිත දෙක බේරා ගැනීමට හැකිවූ බවද විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා.