hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 06, ප.ව. 2:18



තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් ඉන්දුනීසියාවේ ජකර්තාහි සුඛෝපභෝගී මහල් නිවාසයකින් සොයා ගෙන ඇති අතර ඔහුගේ මරණය ඝාතනයක් දැයි නිශ්චිත ලෙස දැන ගැනීමට ඉන්දුනීසියානු පොලිසිය පුළුල් විමර්ශනයක් ඊයේ (05) ඇරඹුවා.

සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ඔපෙක්ස් හෝල්ඩින් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඔනේෂ් සුබසිංහ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

45 හැවිරිදි ඔනේෂ් සුබසිංහ විවාහ වී සිටින්නේ බ්‍රසීල ජාතික කාන්තාවක සමග බව ද පොලිසිය කියයි.

ඉකුත් දවසක ඔහු සිය බ්‍රසීල ජාතික බිරියත් සිවු හැවිරිදි දියණියත් පවුලේ මිතුරියක ද සමග නිවාඩුවක් ගත කිරීම සඳහා ඉන්දුනීසියාවට ගොස් තිබෙනවා.

පවුලේ මිතුරිය ද බ්‍රසීල ජාතික කාන්තාවක බව වාර්තා වෙනවා.

එහෙත් පසුගිය සතියේ අඟහරුවාදායින් පසු ඔහු ගැන තොරතුරක් නොමැති වීම හේතුවෙන් පවුලේ ඥාතීන් ඔහු පිළිබඳ සොයා බලා ඇති අතර ඉකුත් සතියේ සෙනසුරාදා ඔහුගේ සිරුර මහල් නිවාසයේ තිබී එහි කළමනාකාරිත්වයට හමු වී තිබෙනවා.

කළමනාකාරිත්වය ඒ බව සැලකිරීමෙන් පසු ව්‍යාපාරිකයාගේ සොයුරිය සහ ඇගේ සැමියා ජකර්තා නුවර බලා ගොස් ඇතැයි ද සඳහන් කළා.

දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ව්‍යාපාරිකයා මහල් නිවෙසේ සිටියදී බ්‍රසීල බිරිය, දියණිය සහ මිතුරිය දින කිහිපයකට පෙර බ්‍රසීලය බලා පිටත්ව ගොස් ඇති බවයි.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකාර්තාහි සුඛෝපභෝගී මහල් නිවාසයක මියගොස් සිටියදී එහි කළමනාකාරීත්වය සොයාගෙන ඇතැයි ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ ‘මව්බිම’ට තහවුරු කළේ ය.

මේ පිළිබඳ තොරතුර පසුගිය දා (පෙබ. 3) තමන්ට දැනගන්නට ලැබුණු බව පැවැසූ තානාපතිවරයා මියගොස් ඇත්තේ ශ්‍රී ලාංකිකයකු බැවින් මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳ වාර්තාවක් එරට පොලිසියෙන් ඉල්ලා ඇතැයි ද සඳහන් කළා.

මෙම දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හා පොලිස් විභාග කිරීම ඊයේ (05) සිදුකරන බවට එරට නිලධාරීන් තමන්ට දැනුම් දුන් බව ද හෙතෙම සඳහන් කළා.

ඒ අනුව මෙම මරණය කෙසේ සිදුව ඇත්දැයි තමන්ට අද (06) දැනගන්නට ලැබෙනු ඇතැයි ද ඔහු පැවසුවා.

සුබසිංහ මහතා සමග බිරිය, දුව සහ බ්‍රසීල ජාතික කාන්තාවක අඟහරුවාදා ටැක්සියකින් මෙම මහල් නිවාසයට පැමිණෙන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී තිබෙන බව පැවැසූ කොළඹගේ මහතා ඔනේෂ් සුබසිංහ රැඳී සිටි සුඛෝපභෝගී මහල් නිවාසයේ කළමනාකාරීත්වය එහි ‍ෙදාර කඩා ඔහුගේ සිරුර සොයාගෙන ඇතැයි සඳහන් කළා.

ඔහුගේ බිරිය, දුව සහ බ්‍රසීල ජාතික කාන්තාව ‍දෝහා කටාර් යාම සඳහා පිටත්ව ගොස් ඇතැයි ද එම අවස්ථාවේදී පටිගත වූ සී.සී.ටී.වී. දර්ශන ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණු බව ද හෙතෙම පවසා සිටියා.

මෙම සිද්ධිය දැන ගැනීමෙන් අනතුරුව ඔනේෂ් සුබසිංහගේ සහෝදරයා සහ මාමා කෙනෙකු ඉන්දුනීසියාවට පැමිණ සිටින බව ද තානාපතිවරයා සඳහන් කළා.

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ඔපෙක්ස් හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂ ඔනේෂ් සුබසිංහ අමෙරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අයෙක්.

හෙතෙම ආයෝජන ශාස්ත්‍රඥයන් සහ පළපුරුද්ද පිළිබඳ මනා දැනුමක් ඇති සාර්ථක ව්‍යාපාරිකයෙක්.

OPEX දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා විශේෂිත දියර පොහොර නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ පළමු සමාගම බව කියයි.