hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:22



“ඉදිරි දින දෙක ඇතුළත සනීපාරක්ෂක තුවා මිල ගණන් සම්බන්ධයෙන් කටයුතු කර යම් සහනයක් ජනතාවට ලබාදීමට හැකි වේවි.  විශේෂයෙන් පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ මිලක් යටතේ සනීපාරක්ෂක තුවා ලබා දෙන්න අවශ්‍ය කටයුතු සැලසුම් කරන්න කියලා පාරිභෝගික අධිකාරියට උපදෙස් දීලා තියෙනවා” යැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවැසුවා.

රට පුරා ක්‍රියාත්මක කිරීමට යෝජිත පාරිභෝගික සේවා කමිටු පිහිටුවීමේ ප්‍රථම නිල උත්සවයට ජා-ඇළදී එක්වෙමින් ඇමැතිවරයා එසේ සඳහන් කළා.

කැබිනට් අනුමැතිය ඇතිව නෛතික බලයක් සහිතව පාරිභෝගික සේවා කමිටු රට පුරා ආරම්භ කිරීමට නියමිතයි.

පාරිභෝගිකයාට හා ජනතාව වෙළෙඳපොළ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් මෙම කමිටු ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා,

“මෙරට සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන මුදල් අමාත්‍ය, නිෂ්පාදකයන් හා අමුද්‍රව්‍ය ආනයනකරුවන් සමඟ අපි කතා කෙරුවා. ඔවුන් ඉල්ලා සිටියේ අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේදී යම් සහනයක් ලබා දෙන්න කියලයි. මම ඒ අනුව තිබෙන මිල ගණන් සම්බන්ධයෙන් සමාගම් හා සාකච්ඡා කර අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබාදී තිබෙනවා. අද කාටහරි වුවමනා වෙලා තියෙනවා රටට හාල් ගේන එක නවත්වලා ජනතාව බඩගින්නේ තියන්න. සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් පදනමක් නැතිව කියන දෙයකට මම උත්තර දෙන්න යන්නේ නෑ.

පදනමක් නැති, ලිඛිත සාක්ෂියක් නොමැති දේකට මට උත්තරයක් දෙන්න බෑනේ. වගකිවයුතු වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍යාංශයක් විදිහට අපි අපගේ වගකීම හරි ආකාරව ඉටු කරනවා. කොයිම මොහොතක්වත් රටේ ජනතාවට විස සහිත ආහාර ලබාදීමට කටයුතු නොකරන බවටත් ආනයන කටයුතු නොකරන බවටත් සඳහන් කළ යුතුයි.විශේෂයෙන් ආහාර ආනයනය කිරීමේදී ඒවා පරීක්ෂා කරන ආයතන තියෙනවා. ඒ වගේම භාණ්ඩ නිෂ්කාශනය වෙද්දී ඒ පිළිබඳව කටයුතු කරන ආයතන තියෙනවා. එහිදී ආහාරවල සුරක්ෂිතභාවය ඒවායේ තිබෙන ගුණාත්මක බව බව පරීක්ෂා කෙරෙනවා. රටක් විදිහට මේ වෙලාවේ වචන පාවිච්චි කරද්දී සෑම දෙයක්ම ගැනම වැරදියට හිතන්නේ නැතුව නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම අවශ්‍යයි.”