hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2022 ජූනි 21, ප.ව. 5:20



පාර්ලිමේන්තුව මෙම සතිය තුළ අද (21) සහ හෙට (22) පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුව ජූනි 21 සිට 24 දක්වා රැස්වීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වුවද පවතින ඉන්ධන හිඟය හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර විපක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් හෙට (22) දිනයේ විපක්ෂය විසින් ගෙන ඒමෙන් අනතුරුව විවාදයට ගැනීමට නියමිතව තිබූ රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ගෙන ඒමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

හෙට දිනයේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව ලබන ජූලි 4 වන සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සඳහා එදින පෙ.ව 10.00 සිට ප.ව 3.30 දක්වා සම්පූර්ණ කාලය වෙන්ව ඇති බවද මහලේකම්වරයා ප්‍රකාශ කළා.