hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 16, ප.ව. 12:24



කොම්පඤ්ඤ වීදිය සුපිරි අවන්හලක 30 වෙනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් ඊයේ (15) අලුයම වටලා තරුණියක් ඇතුළු සිව් දෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සඳහන් කළා.

සැකකරුවන් සමග කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් හා ඩාන්සින් ටැබ්ලට් යනුවෙන් හඳුන්වන මත් පෙත්තක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

( The pirates) ද පිරේට්ස් යනුවෙන් මුහුණු පොත හරහා සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම කළ බව පොලිසිය සඳහන් කළා.

සිවිල් ඇඳුමින් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් එම සාදය වැටලීම සඳහා ගිය අවස්ථාවේදී බහුතරයක් පුද්ගලයන් මත්ව සිටි අතර ආවේක්ෂණ රාජකාරි සිදු කරමින් මත්ද්‍රව්‍ය සන්තකේ තිබෙන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් පමණක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.

කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම සුපිරි අවන්හලේ උත්සව ශාලාව රුපියල් ලක්ෂ 5 කට කුලියට ගෙන සාදය සංවිධානය කර තිබූ බව පොලිසිය සඳහන් කළා.

මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ මෙම සාදය සඳහා සහභාගිවීමට රුපියල් 5000ක මුදලක් අයකර ගෙන ඇති අතර ඒ සඳහා සහභාගි වී ඇත්තේ ඇති හැකි ධනවත් පුද්ගලයන්ගේ දරුවන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායිකාවක් ද සාදයේ ගී ගැයීම සඳහා ආරාධනා කර තිබූ බවට තොරතුරු වාර්තා වූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

මෙම සාදය සඳහා සහභාගී වූවන්ට මෙම ස්ථානයේ දී මත්පැන් බෝතලයක් අලෙවි කර ඇති අවම මුදල රුපියල් 28,000ක් බවත් ඊට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් රුපියල් 5000ක් සහ මත් පෙත්තක් රුපියල් 5000ක් වැනි මිලකට අලෙවි කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක සම්පත් , උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන් , බණ්ඩාරනායක , රත්නායක හා පොලිස් සැරයන් 428 ජයලාල් මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර තිබෙනවා.