hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 08, පෙ.ව. 11:52



මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය වෙත දීමනා වර්ග 11ක් යටතේ රුපියල් 45,873,483 ක් ගෙවා ඇතැයි කෝප් කමිටුවේදී හෙළිදරව්ව වුණා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2018, 2019 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ බව හෙළිදරව්ව වුණා.

මේ අතර එම කොමිසම මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් සමස්ත මෙහෙයුම වියදමෙන් රුපියල් 86,808,538 ක් එනම් මුලු මුදලෙන් 49% ක් වැය කර තිබීම පිළිබඳව ද කෝප් කමිටු වැඩි වශයෙන් අවධානය යොමු කළා.

එසේම ශ්‍රී ලංකාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2021 දෙසැම්බර් 07 දින සිට වර්ෂයක කාලයක් සඳහා කිසිඳු ගිවිසුමකට ඇතුළත් වීමකින් තොරව 2005 වර්ෂයේ නිෂ්පාදිත බෙන්ස් වර්ගයේ රථයක් General Business (Private) Ltd නම් ආයතනයකින් ඉන්ධන හෝ රියැදුරු නොමැතිව මාසික කුලී පදනම මත ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ අනුව මෙම රථය සඳහා වාර්ෂික කුලිය රුපියල් 4,500,000 වූ අතර 2022 මැයි 31 දිනට ඉන්  රුපියල් 2,187,500 ක් අදාළ ආයතනයට ගෙවා තිබුණා. නමුත් මෙම වාහනය ලබාගැනීම පිළිබඳ ලිපිගොනු විගණනයට ඉදිරිපත් නොවී තිබීම, වසර 15ක් පැරණි වාහනයක් ලබාගැනීමට නිර්දේශ ලබාදී තිබීම, එසේම මෙම වාහනය ලබාගැනීම සඳහා ලංසු කැඳවීමේ අක්‍රමිකතා, මෙම වාහනය වෙනුවෙන් කුලී මුදල් ගෙවීමේදී විනිවිද භාවය පිළිබඳ ගැටලු පැවතීම යන කරුණු පිළිබඳ මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කර තිබෙනවා.

විශේෂයෙන්ම මෙම ආයතනය සඳහා මුදල් ලබාදීමට අනුමැතිය සහතික කරමින් අත්සන් තැබූ නිලධාරියාටද වගකීම් සහගතව කටයුතු කරන ලෙස කෝප් කමිටුව විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අනුව මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකොට සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති නිර්දේශ කළා.

එසේම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සංවිධාන ව්‍යුහය හා වැටුප් ව්‍යුහය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය යටතේ සිදු කළ යුතු බව සහ මුදල් ඇමතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත සංශෝධනයක් ඉදිරිපත් කර අනුමත කරගත යුතු බව දන්වා තිබුණද 2021 වර්ෂය අවසන් වන විට ද එය සිදු නොකර යම් යම් කාර්යන් සඳහා වියදම් සිදු කිරීම පිළිබඳව කෝප් කමිටුව සාකච්ඡා කර තිබෙනවා.

එසේම විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යසාධනය, ප්‍රවණතා, ඉල්ලුමේ වෙනස් වීම්, ආදිය අධීක්ෂණය තුළින් රජයට උපදෙස් දීම සහ නියාමනයට අවශ්‍ය පියවර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දෛනිකව සැපයිය යුතු සම්ප්‍රේෂණ සාරාංශය, සත්‍ය පද්ධති බෙදාහැරීම හා දෛනික බෙදාහැරීම් උපලේඛනය 2018 මැයි මාසයේ සිට 2019  දෙසැම්බර් දක්වාම කොමිෂන් සභාව වෙත ලබා දී නොතිබීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

විශේෂයෙන්ම මෙහිදී 2018- 2037 වර්ෂ සඳහා අනුමත වී ඇති විදුලි ජනන සැලැස්ම පිළිබඳ අවධානය යොමු වූ අතර පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ 2021 වර්ෂයේ දී තවත් නව ජනන සැලැස්මක් පිළිබඳ දත්ත ඉදිරිපත් කළ බවත් සුදුසු අවශ්‍යතාවයන් සපුරා නොතිබූ බැවින් අනුමත වී නැති බවත් ය.

මෙහිදී කෝප් කමිටුව සඳහන් කළේ දේශපාලන අධිකාරීන් වෙනස් වන විට මෙම සැලසුම් වෙනස්වීම නිසා ගැටලු මතුවන බැවින් මේ පිළිබඳ සියලු පාර්ශව වල වැඩි අවධානය යොමුවිය යුතු බවයි.

තවද 2016 නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සඳහන් විදුලිබල (බෙදාහැරීමේ) කාර්යසාධන ප්‍රමිති නියෝග යටතේ, කාර්යසාධන රිති මාලාව සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ වගකීම කොමිෂන් සභාවට පැවරී තිබුණා.

මේ අනුව නියෝගය බලාත්මක වීමෙන් මාස 36ක් ඇතුළත ක්‍රියාත්මක කළ යුතු එම කාර්යය වසර 4කට ආසන්න කාලයක් ගතවී ඇතත් 2018 වර්ෂ තුළදී සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබූ අනුවර්තන අදියර පවා මෙතෙක් නිම නොකිරීම පිළිබඳ කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මෙය වසර 3කින් අදියර 3කට සිදු කිරීමට සැලසුම් කොට තිබූ බවත් ක්‍රමවේදය වෙනස්කිරීමේ අවශ්‍යතාවය සහ මීට සම්බන්ධ පාර්ශවල සම්බන්ධතාවයේ ගැටලු මත තවම සිදුවී නැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: