hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 11, ප.ව. 12:33



විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා පැමිණි වැඩිහිටියන් ඊයේ (10) උදෑසන සිට බැංකු ඉදිරිපිට පෝලිම්වල රැඳී සිටින අයුරු මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

උදෑසන 5 පමණ සිට ඔවුන් පෝලිම්වල රැඳී සිටින බවයි වාර්තා වුණේ.

විශ්‍රාම වැටුප් ලබාගැනීමට පැමිණි පුද්ගලයින් මෙලෙස අදහස් දක්වා සිටියා,

“මම අවුරුදු 22ක් හමුදාවේ සේවය කළේ. තුවාල වෙලා ඉන්නේ. එහෙම කරලත් විශ්‍රාම වැටුප ගන්න එද්දි වැටුප නෑ කියන්නේ විශාල ගැටලුවක්. රට බේරගත්ත අපි වගේ මිනිස්සුන්ට මෙහෙම දුක්දෙන්න එපා. අපි මේ අතපය නැතිකරගෙන රට බේරගත්තේ.”

“මම උදේ 6.30 වගේ වුණා මෙතැනට එද්දි. තාම ඉතින් නෑ පැන්ෂන් එක. බලාගෙන ඉන්නේ පෝලිමේ.”

“පැන්ෂන් ගන්න ආවේ. මාසයක් තිස්සේ බලාගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්. මුදල් නැතිවුණාම කිසිම උදව්වක් නෑ. පුළුවන් තරම් ඉක්මනට අපිට ලැබෙන්න සලස්වන්න…”

“තාම පැන්ෂන් එක නෑ… දහ ගමනක් විතර කාඩ් එක දාලා බැලුවා…සල්ලි නෑ. අද බෙහෙත් ගන්නත් පේරාදෙණියට යන්න හැදුවේ. අද බෙහෙතුත් නැති වෙනවා. කන්නත් නැතිවෙනවා.”

මේ අතර මේ මාසයේ  විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවා.

මේ අතර රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ශුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා,

“පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන් ම මිදීමට හැකියාවක් තවමත් ඇති වී නොමැති බව අපි පිළිගත යුතුයි.

ඒ සඳහා අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීමේදී අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ගෙවීම් සිදු කරනවා.

මේ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවේ,” යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙනවා.

එමෙන් ම, මේ වන විට රජයෙන් යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීමට ඇති බිල්පත් පියවීම සඳහා ක්‍රමවත් හා අධියර වශයෙන් වැඩපිළිවෙළක් මේ වන විට අදාළ අමාත්‍යංශ සමග සාකච්ඡා මට්ටමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පැවසුවා.