hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 10, පෙ.ව. 5:54



මහජන උපයෝගීතා කොමිසම සභාපතිවරයා හා විදුලිබල අමාත්යවරයා පොරොන්දු වූ ආකාරයෙන් විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල විදුලි බිල අඩු නොකිරීම පිළිබඳ විරෝධය පා ඉදිරි දෙසැම්බර් මස උඳුවප් පෝය, නත්තල් ආගමික වතාවත් හා අලුත් අවුරුදු උදාවද අඳුරේ සැමරීමට පියවර ගන්නා බව රාමඤ්ඤ නිකායේ සංඝ සභික ගෙලිඔය, කරමඩ වේළුවනාරාමාධිපති පුජ්‍ය ගලහා සිරි සාන්ත හිමිපාණන් වහන්සේ පවසයි.                                                                    

එම විහාරස්ථානයේ පැවැති පෝදින ආගමික වතාවත්වලින් පසුව මාධ්‍ය ඇමතූ උන්වහන්සේ මෙසේ ද සඳහන් කළා.              

“මේ දැරිමට නොහැකි විදුලි බිලට විරෝධය පා වප් පොහොය අඳුරු පෝදින කිරීමට අපි මහා සංඝරත්නය වශයෙන් දිවයින පුරා සංවිධානය වී සිටි අවස්ථාවේ මහනුවරට පැමිණි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහ නාහිමිවරු මෙන්ම අන්ය ආගමික නායකයන්ද බැහැදැක ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා  විහාරස්ථානවල හා ආගමික සිද්ධස්ථානවල විදුලි බිල ඉකුත් අගෝස්තු මස සිට හරි අඩකින් අඩු කරන බවට. ඊට අමතරව පිරිවෙන්වල ප්‍රධාන හිමිවරුන් බැහැ දැක පිරිවෙන් සඳහා මාස දෙකක් ඇතුලත සූර්ය බලශක්ති වැඩපිළිවෙළක් සකස් කරනවා කිව්වා. එහෙම පොරොන්දු වෙලා ගියා.

නමුත් ඒ පොරොන්දුවට අනුව මේ දක්වාම කිසිදු විදුලි බිලක් අඩුවෙලා නෑ. ලබා දුන්න සූර්ය ශක්තියකුත් නැහැ. මේ සභාපතිවරයා හා ඇමැතිවරයා ඉතාමත් නිර්දය ආකාරයෙන් මහ නාහිමිවරු මෙන්ම ආගමික නායකයන් බොරුවෙන් මුලා කරා. තවදුරටත් මේ මුලාව කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. මහා සංඝරත්නය වශයෙන් බොරුවට රැවටෙන්නේ නෑ. ඒ නිසා අපි තීරණයක් ගත්තා ඉදිරි උදුවප් පොහොය , නත්තල් උත්සවය වගේම අලුත් අවුරුදු උදාව පවා අඳුරේ සමරන්න. ඒ සඳහා අන්ය ආගමික නායකයන් සමඟ මේ වෙනවිටත් සාකච්ඡා පවත්වනවා. රටපුරා ග්‍රාමීය මට්ටමින් ජනතාව සංවිධානය කරනවා. එළැඹෙන ඉදිරි වසර අඳුරු වසරක් වශයෙන් තමයි අපිට හඳුන්වන්න පුළුවන්.                            

අපි මේ රටේ ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් හා බුද්ධශාසන ඇමතිතුමාගෙන් අහනවා ඔබතුමන්ලා බෞද්ධයෝද, විදුලිබල ඇමතිට ඕනේ විදිහටද මේ රට පාලනය කරන්නේ කියලා. අද තෙල් නැව් ඇවිල්ල මාස ගණන් මුහුදේ පා වෙනවා ඒවට රුපියල් කෝටි 2500 ක් ගෙවන්න තියෙනවලු. ඒවා ගෙවන්නේ විදුලිබල ඇමතිගේ බුදලෙන්ද කියලා අපි අහනවා.”

මහනුවර – කේ .එල්. සුරවීර