hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 අගෝස්‍තු 11, පෙ.ව. 12:12



විදුලිබිල 75% සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම ඊයේ අවසර ලබාදුන් අතර මෙලෙස ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විරෝධය පළ කරනවා.

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා කියා සිටියේ ඉතා ඉහළ අගයකින් විදුලිබිල වැඩි කිරීම අසාධාරණ බවයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ඡායා පිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් සෑම නිවසකම සහ ව්‍යාපාරික ස්ථානයකම කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලා සිටින බවයි එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා ඊයේ (10) සඳහන් කළේ.

මේ අතර වෙළෙඳ අමාත්‍යංශය මගින් විවෘත ගිණුම් ක්‍රමය හරහා ජූලි 1 වනදා සිට ආනයනික භාණ්ඩ 10ක් ගෙන් වීම ආරම්භ වූ අතර එම ආනයනික භාණ්ඩ මේ වන විට වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් වෙළෙඳපොළේ භාණ්ඩවල තොග මිල අඩු වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (10) වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින්.

ඉකුත් සතියේදී පරිප්පු, ආනයනික සහල් සහ සීනි ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල තොග මිල සැලකිය යුතු මට්ටමින් පහළ ගිය බව ත් එම මිල අඩු වීම සිල්ලර මිල ගණන් යටතේ සාමාන්‍ය ජනතාවට හිමි විය යුතු බව ත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම, ඊයේ දිනයේදී ලංකා සතොස ආයතනයේ අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් පහළ දැමූ අතර ඉදිරියේදී තව ත් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ සිමෙන්ති, යකඩ, වයර්, කුකුළු මස්, බිත්තර වැනි ද්‍රව්‍යවල බර හා මිල පිළිබඳව ගැටලුවක් පවතින අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට පාරිභෝගික අධිකාරියට දැනුම් දුන් බයි.

මේ අතර, ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලබා ගන්නා පුද්ගල දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයකට ලැබෙන බවට පළ වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.