hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 16, පෙ.ව. 6:49



බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් තම අරමුණු හා ප්‍රධාන කාර්යයන්ට අනුගත නොවි පුද්ගලික ආයතනයක් විසින් සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට ගෙනඑනු ලැබූ යෝජනාවට එකග වී ඇති අතර මෙම ව්‍යාපෘතිය යටතේ අදාල  පුද්ගලික සමාගම විසින් ඉකුත් මාස 11ක කාලය තුල  සිරකරුවන්ගේ මිනිස් දින 50,103ක කාලයක් විවිධ වැඩබිම්වල සේවය සදහා යොදවා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2020 ජුනි මස 15 වැනි දින සිට 2022 මැයි මස 09 වැනි දින දක්වා කාලපරිච්චේදය තුල මෙම සිරකරුවන් අදාළ පුද්ගලික සමාගමේ විවිධ වැඩබිම් සදහා යොදවා තිබෙනවා.

මේ සදහා පුද්ගලික ආයතනයෙන් එක් සිරකරුවෙකුට වැටුප වශයෙන් දිනකට රුපියල් 400ක් ගෙවා තිබූ අතර මීට අමතරව සිරකරු සුභසාධක අරමුදලට හා රජයේ ආදායමට රුපියල් 50 බැගින් මුදලක් බැර කොට තිබෙනවා.

එහෙත් එක් සිරකරුවෙකුගෙන් දිනකට අවම වශයෙන් රුපියල් 1000ක ලාභයක් ඉපයීමට හැකිවුවහොත් අදාල කාලය තුල මෙම පුද්ගලික සමාගමට රුපියල් මිලියන 50ක අධික ලාභයක් උපයා ගැනීමට හැකිව තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

බන්ධනාගාර තුල  කර්මාන්ත අංශයේ  ව්‍යාපෘති  සදහා සිරකරුවන්ට  වෘත්තිය පුහුණුව ලබා දීම තුලින්  විධිමත්ව පුනරුත්ථාපනය කිරිමට හැකියාව තිබියදි  ඉහත ව්‍යාපෘතියට සිරකරුවන් යොදා ගැනීම තුල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විවිධ ගැටළුවලට මුහුණදිමට සිදුවී තිබුණා.

එමෙන්ම මෙම සිරකරුවන් වැඩබිම්වල සේවයේ යෙදවීමට පෙර අදාළ ක්ෂේත්‍රයේ මාස තුනක මුලික පුහුණුවක් ලබා දිය යුතු වුවත් වැඩිබිම වෙත රැගෙන ගිය සිරකරුවන් 104 දෙනෙකු සදහා  මුලික පුහුණුවක් ලබාදි නොතිබු බවද විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

ඉහත ව්‍යාපෘතිය යටතේ  පුහුණුව අවසන් කළ සිරකරුවන් 236 දෙනෙකු සදහා  ජාතික වෘත්තිය මට්ටමේ පුහුණු සහතිකයක් ලබාදීමට කටයුතු කළ යුතු වුවත් එවැනි නිපුණතා සහතිකයක් ලබාදි නොතිබුණා.

කාලින අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි  සිරකරුවන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස පිටත්වීමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීම බන්ධනාගර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක්.

එහෙත් දෙපාර්තමේන්තුව විසින් ඊට අනුගත නොවී පුද්ගලික ආයතනයක් විසින් සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට ගෙන එනු ලැබූ යෝජනාව පිළිගැනීමට හා අනුකූලතාවය දැක්විමට එකග වී තිබෙනවා.

ඒ පිළිබද අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබූ බවද විගණන කාර්යාලය පවසයි.

ලලිත් චාමින්ද