hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 07, ප.ව. 5:01



ජනපති අගමැති ඇතුළු ජන පීඩක ආණ්ඩුව වහාම ගෙදර යැවිය යුතු යැයි හඬ නගමින් කුලියාපිටිය වෘත්තීය සමිති එකතුව කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එහිදී පෙර දැනුම් දී තිබූ පරිදි ඇතැම් කඩසාප්පු වසා දැමීමට ද ව්‍යාපාරිකයන් පියවර ගෙන තිබූ අතර බ්‍රහස්පතින්දා සතිපොළට සමගාමීව බොහෝ කඩසාප්පු විවෘත කර තිබූ ආකාරය ද දක්නට ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය, විදුලිබල මණ්ඩලයේ සේවකයින්, ගුරු වෘත්තිකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයින් උද්ඝෝෂණය සඳහා එක්ව ඇති බවයි.

විරෝධතාවය ආරම්භයේ දී තමන් අපේක්ෂා කළ පිරිස මෙන් දස ගුණයක් පමණ ප්‍රමාණාත්මකව වර්ධනය වූයේ ජනතාව ආණ්ඩුවට එරෙහි ගොඩනැගෙමින් පවතින විරෝධී මානසිකත්වය හේතුවෙන් බවද ඒ පිරිස පවසා සිටියා.

මේ අතර සෞඛ්‍ය සේවකයින් සදහා අවශ්‍ය ඉන්ධන ලබාදීම විධිමත් කිරීමට පියවර ගන්නා ලෙසත් එසේ කල නොහැකිනම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පවසමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ බදුල්ල ශාඛාව සංවිධානය කල උද්ඝෝෂණයක් අද (07) දහවල් බදුල්ල මහ රෝහල ඉදිරිපිට දී පැවැත්වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

බදුල්ල – ජයලත් දිසානායක  / කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර