hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 27, පෙ.ව. 12:07



මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස ද සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී පැවති උත්සවයට එක්වෙමිනි.

එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අද මෙම පාසලට පැමිණෙන විට මම පාසල් ගිය කාලය මට සිහිපත් වුණා. එදා අපට තිබුණේ කළු ලෑල්ල සහ, හුණු කෑල්ල පමණයි. එදා මෙම පහසුකම් තිබුණේ නැහැ. මම පළමුවරට පරිගණකයක් දුටුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිම කිරීමෙන් පසුවයි. අද ඔබට නවීන උපකරණ සහිත සුහුරු පන්ති කාමර ලැබී තිබෙනවා. අද ලෝකය සෑම අංශයකින්ම සීග්‍රයෙන් වෙනස් වෙනවා. අපත් ඒ වෙනසට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබාගත යුතුයි.

ඒ වගේම තාක්ෂණය පදනම් කරගත් විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෙම තාක්ෂණික දැනුමත් සමඟ නව ආර්ථික පරිවර්තනයක් රට තුළ ඇති කරමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සකස් කිරීමට අප ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධව අප පාර්ලිමේතුවේ දී විවාද කළා. එහිදී විවිධ අදහස් පළ වුණා. අවසානයේ කිසිවෙකුගේ විරුද්ධත්වයකින් තොරව එය සම්මත වුණා. සියලුදෙනා එක්ව මෙම කටයුතු සිදු කිරීම පිළිබඳව මම පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්ෂයකටම ස්තූතිවන්ත වෙනවා. ඒ පිළිබඳ ස්තූති කරමින් අප සියලුදෙනා එක්ව මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යමු කියා ප්‍රකාශ කරනවා.

 අද ඉන්දියාව, චීනය වැනි රටවල් වේගයෙන් ඩිජිටල්කරණයට ලක්ව තිබෙනවා. ඔවුන්ගේ මුදල් ගනුදෙනු සියල්ල සිදුවන්නේ ජංගම දුරක්ථනය භාවිතයෙන්. අපත් එම තත්ත්වයට පත්විය යුතුයි. එහිදී QR කේතය වැදගත් වෙනවා. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කර එම තාක්ෂණය ඔවුන්ට හඳුන්වාදිය යුතුයි. ඒ නිසා මෙම වැඩසටහන ඉතා වැදගත් බව ප්‍රකාශ කිරීමට කැමතියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: