hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 30, ප.ව. 8:50



ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් හෙට සහ අනිද්දා දිනවලදී දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව විශේෂයෙන්, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට එලෙස වැසි ඇති විය හැකියි.

තවද වයඹ හා උතුර පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව අද දහවල් රතු නිවේදනයක් නිකුත් කරමින් ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දුන්නේ පස්වරු 06 සිට පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හෝ නාවික කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙසයි.

දැනට පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව, වයඹ දෙසට ගමන්කරමින් අද දිනයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.

එය අනිද්දා වන විට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

එහි බලපෑමෙන් දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශද රළු විය හැකි නිසා හෙට සිට දිවයින වටා එම මුහුදු ප්‍රදේශවලද ධීවර හෝ නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මේ අතර පවතින සුලං තත්වය බලපෑම හේතුවෙන් දිවයිනේ වායූ දූෂණ තත්වයේ ඉහළයාමක්ද වාර්තා වනවා.

කොළඹ සහ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව වායු ගෝලයේ තත්ත්වය 100ට වැඩි අගයක් පෙන්නුම් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියට අනුව, බත්තරමුල්ල නගරයේ වායු තත්ත්ව දර්ශකය 147ක් දක්වා සෞඛ්‍යට අහිතකර මට්ටමක ඉහලයාමක් අද පස්වරුවේ පෙන්නුම් කළා.

මීට අමතරව, යාපනය 142 ක්, අකුරණ නගරයේ 124ක්, කොළඹ 119ක් සහ පුත්තලම 107ක් ලෙසයි දැක්වුණේ.