hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 19, ප.ව. 3:08



උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීම සඳහා පලාත් මට්ටමින් කමිටු 08 ක් පත්කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින්.

උතුරු පළාතේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම කැඳවා තිබූ අතර එම දිස්ත්‍රික්කයන්හි මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියා.

උතුරු පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරී තිබෙනවා.

උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා උතුරු පළාතේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය ද අපේක්ෂා කරන බව සඳහන් කළා.

මෙතෙක් විසඳුම් ලැබී නොමැති ගැටලු රැසක් උතුරේ පවතින බවත් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

1994 වසරේදී සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට තවමත් ඉඩම් ලබා නොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.

සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩම් ගැටලුව මාස 03ක් ඇතුළ විසඳීමට මැදිහත්වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන් අතර ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයෙන් සහ ඉඩම් අමාත්‍යාංශයෙන් කරණු විමසීමක් සිදු කිරීමට කටුයුතු කරන බව ද පැවසුවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කෙරුණා.

වව්නියාව වැව සහ තිරික්කුලම් වැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ අවශතා පිළිබදව  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා.

දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය, පොහොර ගැටලුව විසඳීම සහ බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව ද අවධානය යොමු වු අතර ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. 

මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට  භූමිතෙල් ලබා දීමේදී  සිදුවන විවිධ අක්‍රමිකතා  පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා කරුණු පැහැදිළි කළ අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නා.

ධීවර අමාත්‍ය  ඩග්ලස් දේවානන්ද ,නාගරික සංවර්ධන නිවාස රාජ්‍ය අමාත්‍ය  තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, රිෂාඩ් බදුර්දීන්, චාල්ස් නිර්මලනාදන්,උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීහු ද වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු  මෙම අවස්ථාවට එක්ව සිටියා.

වන්නි – රොමේෂ් මධුෂංඛ