hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 29, ප.ව. 4:56



වෙළඳ සැලකට යමින් සිටි හිටපු ගුරුවරියකට ලිංගික අතවර කළ බව කියන හිටපු (එජාප) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය සඳහන් කළා.

සැකකරු පැමිණි කුඩා ලොරි රථයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

අතවරයට පත් ගුරුවරිය හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මොරගහහේන මිල්ලෑව ධම්මානන්ද පෙදෙසේ වෙළඳ සැලකට ගුරුවරිය යමින් සිටියදී ලොරි රථයෙන් පැමිණ තිබූ සැකකාර මන්ත්‍රීවරයා එයින් බැස විත් ගුරුවරිය යන මඟ හරස් කර ඇ‍ය වැලඳගෙන ලිංගික අතවර කර ඇතැයි පොලීසිය සඳහන් කළා.

මහත් ආයාසයක් දරා සැකකරුගෙන් මිදි අසල නිවසකට පලා ගොස් දොර වසා ගත් අතවරයට පත් ගුරුවරිය පසුපස හඹා ආ සැකකාර මන්ත්‍රීවරයා එම නිවෙස් හිමි කාන්තාවගෙන් ඇය පිළිබඳ විමසීමේදී ඇය පිටුපස තාප්පෙන් පැන පලා ගිය බව නිවෙස් හිමි කාන්තාව සැකකරුට පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුගේ එම ක්‍රියාව හේතුවෙන් පපු ප්‍රදේශයේ සීරීම් තුවාල වලට ලක්ව රිදුම් දෙන බව පවසමින් අතවරයට පත් හිටපු ගුරුවරිය 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සැකකරු ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් අතවරයට පත් ගුරුවරියට ලබාදුන් මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් ද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිනිලධාරීයෙකු පැවසුවා.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත
පොලිස් සැරයන් 59615 සෙනෙවිරත්න 41113 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 31335 නිරෝෂන් මහත්තුරු පරීක්ෂණ පවත්වයි.