hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 ජූලි 30, ප.ව. 1:31



ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා අගෝස්තු 05 වන දින සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ පෞද්ගලික හේතු කිහිපයක් පදනම් කරගෙනය.

අද (30) මාධ්‍ය වෙත අදහස් දැක්වූ විජේසිංහ මහතා සඳහන් කළේ, සිය වයස සහ පවතින කායික වෙහෙස මෙන්ම ඉදිරි නිර්මාණ කටයුතු සඳහා වැඩි කාලයක් වෙන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

“මගේ පෞද්ගලික හේතූන් මත, විශේෂයෙන්ම මගේ වෙහෙසත් වයසත් ගැන සලකලා සහ මගේ නිර්මාණ කටයුතු පිළිබඳවත් සලකලා මම තීරණය කළා මේ ධුරයෙන් ඉවත් වෙන්න. මෙයට වෙනත් කිසිදු හේතුවක් බලපා නැති බව මම අවධාරණය කරනවා,” යැයි ඔහු පැවසීය.

වත්මන් රජය සහ ජනාධිපතිවරයා කෙරෙහි තමා තැබූ විශ්වාසය කිසිසේත්ම අඩු වී නොමැති බවත්, ඉදිරියේදී ද රජයේ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට තමා සූදානම් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රජය සමඟ කිසිදු අමනාපයක් නොමැති බවත්, පෞද්ගලික නිදහස සහ සාහිත්‍ය කටයුතු වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

පසුගිය 2024 දෙසැම්බර් මාසයේදී මෙම ධුරයට පත් වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා, මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රකට කිවිවරයෙකු සහ ගේය පද රචකයෙකු ද වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: