hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 14, ප.ව. 1:22



දේශපාලන රැස්වීමක් අතරතුර අසනීප වී ඊයේ (13) අලුයම හදිසියේ මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහුගේ බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙනවා.

ඇය එසේ ඉල්ලා සිටියේ, කළුතර රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී අද පැවති ඔහුගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදීයි.

මරණ පරීක්ෂණයේදී පළමුව සාක්ෂි දෙමින් රෙජිනෝල්ඩ් මහතාගේ පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ඇතුළු සිව්දෙනෙකු සමග ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු ඔහු අසනීප වූ බවයි.

ඒ අනුව, හදිසි මරණ පරීක්ෂකවරයා මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ අතර, කළුතර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ මෙහෙයවීමෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වෙනවා.