hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 17, ප.ව. 2:40



මෙරට මිනිස් පරිභෝජනය සඳහා ආනයනය කරන සහල්වල බැර ලෝහ වර්ග අධිකව පැවතීම වකුගඩු රෝග, පිළිකා, අඩුබර දරු උපත් වැනි රෝග ගණනාවකට හේතුවක් වන බව එම සහල් සාම්පල් යොදාගෙන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කරන ලද විශ්ලේෂණයකදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ බව අනාවරණය වී තිබෙන්නේ ලක්‍ෂ 350ක් පමණ වටිනාකමින් යුත් CP-MS නමැති යන්ත්‍රය යොදාගෙන කරන ලද පර්යේෂණ ක්‍රමවේදයට අනුව නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවකින්.

2022 ජනවාරි සිට අගෝස්තු මාසය අවසන් වන විට මෙරටට හාල් මෙට්‍රික් ටොන් 5,96,440ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 64,591ක්.

පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවට අනුව බැරලෝහ වශයෙන් හාල්වල අඩංගු විය යුත්තේ ආසනික් 0.2, කැඩ්මියම් 0.2ක්, ඊයම් 0.2ක් සහ මර්කරි (රසදිය) 0.1ක් සහ සෙලෙනියම් 0.3ක ප්‍රමාණයකි. මේ ප්‍රමාණය අඩංගු හාල් පරිභෝජනයට සුදුසු ය. ශරීරයට හානි කර නැහැ.

මෙරටට ආනයනය කරන සහල් සාම්පල් විශ්ලේෂණය භාරව කටයුතු කරන පර්යේෂණ නිලධාරිනියක් විසින් එම සහල්වල අයන ඉවත් කරන ලද වතුර ඉවත් කර හාල් සාම්පල් කුඩුකර ග්‍රෑම් 0.2ක ප්‍රමාණයක් නයිට්‍රජන්, හයිඩ්‍රෝක්ලෝරික් ඇසිඩ් හා හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් දමා ජීරණය කර ලබාගත් පර්යේෂණයට අනුව එම හාල්වල ඊයම් 43%ක්, කැඩ්මියම් 26%ක්, මර්කරි (රසදිය) 20%ක්, සෙලනියම් විෂ කාරකය 47%ක් පවතින බව එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙම විෂ කාරක ශරීරයට සම්පූර්ණයෙන් ම අහිතකර වන අතර ඒවා ශරීරගත වීමෙන් වකුගඩු රෝග, පිළිකා, අඩුබර දරු උපත්, මොළය නිසි ලෙස වර්ධනය නොවීම ඇතුළු රෝග ගණනාවකට හේතුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඉහත දැක්වෙන විසකාරක තත්ත්වය මෙරට නිෂ්පාදන කරන හාල්වල පවතින්නේ සියයට දශම 5ක ප්‍රමාණයක්.

ඒ අනුව දේශීය හාල් පරිභෝජනයට ඉතාම සුදුසුයි.

විශේෂයෙන් ආනයනය කරන හාල් සඳහා මිනිස් සිරුරට අහිතකර ග්ලයිෆොසෙට්, ෆර්නිල්, කාබෝෆුයුනස් වැනි කෘමිනාශක හා වල්නාශක විශාල වශයෙන් එම වගාවලට යොදන බවත් ශ්‍රී ලංකාවේ එවැනි කෘමි හා වල් නාශක පාවිච්චිය දැනට අවුරුදු 20ක පමණ කාලයක සිට නොකරන බවත් වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: