hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 27, පෙ.ව. 9:47



විදේශ රටවලින් අඩු මිලට ආනයනය කරන ලද සහල් මෙරට ප්‍රධාන පෙළේ මෝල් වලදී පිරිසිදු කර දේශීය වෙළෙඳ නාම යටතේ ඒවා වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියා.

මෙයට අමතරව වියට්නාමයෙන් වී කිලෝව රුපියල් 25-30 අතර මුදලකට ආනයනය කර රටේ පවතින වත්මන් දේශීය සහල් මිලටම දේශීය වෙළෙඳ නාම යටතේ ඒවා වෙළෙඳ පොළට නිකුත් කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඒ මහතා සඳහන් කළා.

ආර්ථික හා දේශපාලන අරාජිකත්වයෙන් මිදී ජනදිවිය නංවාලන තෙවැදෑරුම් ගොවිජන යෝජනාවලිය මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තෙන්නකෝන් මහතා ඊයේ (26) මේ බව පැවසුවා.

පසුගිය මාස් කන්නයේදී මෙරට සහල් නිෂ්පාදනය 60%කින් පමණ පහත වැටුණු බවත් පොහොර නොමැති නිසා යල කන්නයේ වගා කටයුතුද ගොවීන් මේ වන තෙක් ආරම්භ කර නොමැති බවත් පැවසූ ඒ මහතා එළඹෙන අගෝස්තු මාසය වනවිට මේ රටේ පවතින සහල් තොග අවසන් වී බරපතල ආහාර අර්බුදයක් පැන නගින බවද අවධාරණය කළා.

එම ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා සද්ධාතිස්ස කුමාරයා කළා මෙන් වගා සංග්‍රාමයක් රටේ ආරම්භ කර වගා කළ හැකි සෑම බිම් අඟලකම වගා කටයුතු සිදුකළ යුතු බවද සභාපතිවරයා පැවසුවා.

රටේ පවතින සහල් හිඟය පියවා ගැනීම සඳහා විදේශ රටවලින් සහල් ආනයනය කිරීමට ඩොලර් මිලියන 2000 ක් පමණ අවශ්‍යය බවත් අද රට පත්ව තිබෙන තත්ත්වය අනුව එවැනි ඩොලර් ප්‍රමාණයක් සොයා ගැනීමට නොහැකි බවත් ඒ මහතා පවසා සිටියා.

ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 65000 ක් ලබාදෙන බව පැවසුවත් එය රටට පැමිණෙන දිනයක් කිසිවෙකුත් නොදන්නා බවත් රජය ලබාදෙන බව කියන රුපියල් 10000 යේ පොහොර මිටි කොතනකවත් නොමැති බවත්, මේ වන විට පොහොර මිටියක මිල රුපියල් 40,000 සිට 50,000 දක්වා වන බවත් කී ඒ මහතා මෙම පසුබිම තුළ ගොවීන් යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම කල්දමමින් සිටින බවද අවධාරණය කළා.

මාස් කන්නයේදී මෙන්ම යල කන්නයේදීත් අස්වැන්න අඩුවුව හොත් රටේ විශාල සාගතයක් ඇතිවීම කිසිවෙකුට වැලැක්විය නොහැකි බවද ඒ මහතා පවසා සිටියා.

ජනතාව පාරට බැස ගෑස්, පොහොර, ඉන්ධන ඉල්ලත්දී ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් ලබා දීමට යන බවත් ඊට පෙර ජනතාවට ජීවත් වීමේ පසුබිම සකස් කළ යුතුව තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියා.