hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 03, ප.ව. 3:56



රුසියානු ෆෙඩරේෂනයේ ඉහළ රාජතාන්ත්‍රික නායකයින් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයින්, රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ලිඛිත එකගතාවයකට පැමිණ සිටිය දී , ඊයේ (02) දහවල් රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රදවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ වන විට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට වන්නේ රුසියාවයි.

එමෙන්ම එළඹෙන ශීත ඍතුවේදී එරට සංචාරකයන් ලක්ෂ 04ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට මේ වන විට ඔවුන් සැළසුම් කර තිබූ බව ද එම ගුවන් සේවා ප්‍රකාශකවරයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

එසේම ඊයේ (02) රුසියාවේ සිට පැමිණි මෙම ගුවන් යානයෙන් ද එරට සංචාරකයන් 250 ක පමණ පිරිසක් පැමිණ තිබූ බව ද ඔහු සදහන් කළා.

එමෙන්ම මෙම රුසියානු එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට  දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් පැමිණීම සිදු කරයි.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් පැමිණීම, ඒ මගින් රටට විදේශ විනිමය ලැබීම සහ දිගුකාලීන මිත්‍රශීලී රාජ්‍යයක් වන රුසියාව සමග මතභේදාත්මක වාතාවරණයක් ඇති කර ඒ තුළින් දෙරට අතර සමීප සබදතා බිද දැමීමේ කුමන්ත්‍රණයක් මෙම සිදුවීම ඔස්සේ ක්‍රියාත්මක වී ඇති බව එම ප්‍රකාශකවරයා සදහන් කළා.

මෙම ගුවන් යානය ඇතුළු තවත් ගුවන් යානා රාශියක් අයර්ලන්ත රක්ෂණ සමාගමක් විසින් රක්ෂණය කර තිබූ අතර හදිසියේම ඇති වූ යූක්‍රේන – රුසියා යුධ ගැටුම් නිසා එම සමාගම වෙත රක්ෂණ වාරික ගෙවීම දුෂ්කර වී තිබෙනවා.

මෙයට විසදුමක් ලෙස එරොෆ්ලොට් ගුවන් සේවය රුසියාවේ රක්ෂණ ආයතනයක් වෙත මෙම ගුවන් යානා සියල්ල ප්‍රතිරක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව අයර්ලන්ත රක්ෂණ සමාගම වෙත වාරික ගෙවීම අත්හිටුවීමත් සමග ඔවුන් මේ පිළිබඳව කොළඹ වානිජ මහාධිකරණය වෙත පැමිණිළි කර තිබෙනවා.

මෙයට සම්බන්ධ නීතීඥයන් කීප දෙනෙකු ඊයේ (02) දහවල් ඉතා කඩිමුඩියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ මෙම වාරණ නියෝගය භාර දීමට මෙම ගුවන් යානයේ නියමුවන් ද සොයා තිබූ අතර පසුව මෙම නියෝගය කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන සංතරණ නිලධාරීවරයා වෙත භාර දීමට පියවර ගෙන තිබු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙසේ රදවා ගැනීමට ලක් වී ඇති ඒ.- 330  එයා බස් වර්ගයේ ගුවන් යානය මේ වන විට හත් වතාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ආපසු රුසියාව වෙත ගොස් තිබෙනවා.

කටුනායක – ටී.කේ.ජී.කපිල