hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 13, ප.ව. 2:11



සාමකාමී සහ නිසි අනුගත වීම් මත සිදු කරන විරෝධතා වලක්වමින්, නිරායුධ සිවිල් ජනයාට පහරදීමත් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමත් පොලිසිය දිගින් දිගටම සිදු කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා.

ඊයේ (12) දිනයේ දී ස්ථාන තුනක සිදු වූ විරෝධතා පොලිසිය විසින් මැඩලූ ආකාරය ඉතාමත් නින්දිත බවයි ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පෙන්වාදෙන්නේ.

මෙහි උච්චතම අවස්ථාව වන්නේ කළුතර සිට කොළඹට පා ගමනින් විරෝධතා දක්වමින් පැමිණි කාන්තාවන් දෙදෙනකු සහ ඔවුන්ට සහාය පළකර සිටි පිරිස් අත් අඩංගුවට ගැනීමයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රඳවා තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස්කරන ලෙස ඉල්ලමිනුයි එම කාන්තාවන් දෙදෙනා සිය විරෝධතා පා ගමන සිදු කර තිබුණේ.

එසේම ජ්‍යේෂ්ඨ පොලිස්නිලධාරියෙකු විසින් පොලිස්කොස්තාපල්වරියකගේ ගෙලෙන් දැඩිව අල්ලා ඇයව හිංසනයට ලක් කරන ආකාරයක් දැක්වෙන පින්තූරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර එයද උපුටා දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා විරෝධය පල කර තිබුණා.