hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 01, ප.ව. 2:25



සංඛ්‍යා ලේකන අනුව වැඩිම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ බවත් මේ වනවිට ප‍්‍රථිකාර ලබන බොහෝ පාසැල් වයසේ ගැහැණු දරුන් ඒවාට හුරුවී ඇත්තේ සැලූන් වලින් බවත් අන්තරායකර ඖෂධ නියාමන කොමිශන් සභාවේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා මහත්මිය පැවසුවා.

පාසැල් ශිෂ්‍ය ප‍්‍රජාව දරුණු අන්දමින් මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහිය වළක්වාලීම වෙනුවෙන් කුලියාපිටිය සුරාබදු ස්ථානය මගින් සංවිධානය කරතිබූ සාරානාත් සිසුදරුවන්ගේ දෙමාපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහත්මිය ඒ බව පැවසුවා.

එහිදී දෙමාපියන් අමතමින් ඒ මහත්මිය ඩයනා ගමගේ අමාත්‍යවරියගේ ජනප‍්‍රිය ගංජා කථාව පිළිබදව දෙමාපියන් මතුකළ මාතෘකාවක් ඔස්සේද මෙසේ අදහස් දැක්වුවා.

“ගංජා කියන්නේ අනිවාර්යයෙන් ඖෂධයක්. ඔබේ දරුවාත් ඒ බව කියාවි. නමුත් ආයුර්වේදයේ ගංජා කිසිම අවස්ථාවක තනිව ගන්නෙ නැහැ. එහි තිබෙන් ටී එච් සී කියන රසායනික ද්‍රව්‍ය හරණය කරමින් කැනබිස් ඩියෝ තත්වට ගෙනතමයි ගංජා ඖෂධ වලට භාවිතා කරන්නෙ. ටී එච් සී සමගින් ගංජා භාවිතා කරන්නන්හට දීර්ඝකාලීනව භාවිතයෙන් මානසික ආබාධ එන්න පුලූවන්. දරුවන් අහිංසක කීකරු කියන දේ අහන අය නම් පොඩි අවධානමක් මත්ද්‍රව්‍ය සම්බන්ධව තිබෙනවා. ඒ දරුවන් ඔබ කියන දේ වගේම අන් අය කියනදේ අහන්න ගියොතින් වෙන්නෙ මහා බියජනක දෙයක් වෙන්න පුලූවනි. ඒ නිසා දරුවාට හැම කුසලතාවයක් එක්කම ප‍්‍රතික්‍ෂේප කිරීමේ එපා කියන පුරුද්දත් ඇති කරවන්න අවශ්‍යයි. අනික් කාරනය තමයි සමාජයේ විවිධ පුද්ගලයන් දරුවාට මුණ ගැසෙනවා. ඒ අය යම් දෙයක් දෙන්න විවිධ ක‍්‍රම භාවිතා කරනවා. දරුවන් එක්කෝ බියට හෝ එය ලබා ගනීවි. නැතහොත් මොනවද මේ දෙන්නෙ කියලා ගැටුමක් ඇති කරගනීවි.

බොහෝ තැන්වල දරුවන් මේ තත්ව වලට පෙළඹෙන්න දෙමාපියන්ගේ හැසිරීම් බලපාලා තිබෙන බව අපි එන දරුවන් සමගින් කථා කරනකොට දැනගන තියනවා. එක්කෝ තාත්තා බීගෙන ඇවිල්ලා අම්මා එක්ක රණ්ඩු සරුවල්. එහෙම නැත්නම් තාත්තා සෑහීමට පත් නොවී අම්මාව සැකකරලා ගැටුම්. ඒ වගේම ඒකෙ අනික් පැත්ත. මේ සියලු දේ වලින් තැලෙන්නෙ පොඩිවෙන්නෙ දරුවන්. ඒ අය තමන්ගේ සැනසීම මත්ද්‍රව්‍ය වල ඇති කියලා මහා මිත්‍යාවක ඉදලා වැඩිමහල් අයියලාගෙ පිහිටෙන් ඒ පසුපස යනවා.”

එහිදි වයඹ පළාත් සුරාබදු සහකාර කොමසාරිස් ප‍්‍රභාත් ජයවික‍්‍රම, කුරුණෑගල සුරාබදු අධිකාරී තිස්ස කුමාර රාජපක්‍ෂ, කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්න යන මහත්වරුන්ද දෙමාපියන් දැනුම්වත් කළ අතර කුලියාපිටිය සාරානාත් විදුහලේ විදුහල්පති චමින්ද රන්දෙනි මහතාගේ ඉල්ලීමකට අනුව එම දැනුම්වත් කිරීම එම විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණා.