hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 02, ප.ව. 8:21



සමගි ජන බලවේගය විසින් ඊයේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කර තිබු මැයි දින රැළියේදී හරින් ප්‍රනාන්දු සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි දෙදෙනා අතර ගැටුමට මුල්ව ඇත්තේ, රැළියේ කථික ලයිස්තුවේ අනුපිළිවෙලයි.

මේ සම්බන්දයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ඔහු සඳහන් කළේ එම අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු ආචාරශීලී නොවන ලෙස හැසිරුණු බවයි.

එහිදී ෆොන්සේකා මහතා මෙසේද අදහස් දක්වා සිටියා,

එතුමාට තමයි භාර දීලා තිබුණේ සංවිධාන කටයුතු. නමුත් ඒකෙ යම් යම් දේවල් සාධාරණ විදියට නිවැරදි ආකාරයට කරලා තිබුණේ නැහැ. ප්‍රතිරූප ගොඩ නගා ගන්න යම් යම් එකතු වෙච්ච කල්ලි වගේ ටික දෙනෙක් එකතු වෙලා ඒගොල්ලොන්ගේ ප්‍රතිරූපය සහ බලය ගෙනියන්න යම් යම් පියවර අරගෙන තිබ්බා. සමහරක් තැන් වල මම ඒකට විරුද්ධ වුණා. මම ඒක ප්‍රකාශ කළා. අශිලාචාර විදියට අසභ්‍ය වචන භාවිතා කරමින් එතන හැසිරුණා. එතුමා දැනගත යුතුව තිබුණා අනිවාර්යයෙන්ම මහජනතාව ඉස්සරහ කතා කරන්න පුළුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද කියලා. එතුමාට මම කතා කරපු විදියට වැදගත් විදියට මට උත්තර දෙන්න තිබුණා. ඒක හන්දා එතුමාගේ අශිලාචාර , කුපිත වෙච්ච හැසිරීම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.”

“එතුමාට මට කියන්න තියෙන්නේ ඒවා පුරුද්දට තියා ගන්න එපා කියලා විතරයි ඉතින්. එතුමා ආවා නායකතුමා එක්ක යමක් කතා කරන්න. ඒ වෙලාවේ මම එතුමාගෙන් ප්‍රශ්න කළා මේ ගැන. එතකොට එතුමා ඒ ප්‍රශ්නේ නායකතුමාට දැම්මා. සමහර වෙලාවට ඒ කථික ලැයිස්තුවේ වරදක් තිබුණා. මට තේරුණා ඒක නායකතුමාත් දැනගෙන හිටියා කියලා. කොහොම වුණත් ඒක නිවැරදි කළා. ඊට අමතරව තව වැරදි ගොඩක් එතන සිද්ධ වුණා. පසුපෙළ මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ඒවාට විරෝධය පාලා සමහරු නැගිටලත් ගියා. ඒ නිසා පක්ෂයේ දෙවෙනියා හැටියට මට අයිතියක් තියෙනවා යුතුකමක් තියෙනවා ඒවා ගැන කතා කරන්න. ඒවා දිගින් දිගටම කෙරෙන්න ගියොත් පක්ෂයේ සමගියට, ශක්තියට බාධාවක් වෙන නිසා.”

සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියා.

“එහෙම ගැටුමක් නෑ සාමාන්‍යයෙන් සිංහයෝ ඉන්න තැන සිංහයෝ පොඩ්ඩක් ගොරවා ගන්නවා. අපි ඔක්කොම සිංහයෝ. ලංකාවේ අපි සිංහයෝ කියලනේ අපි කියන්නේ. සිංහයෝ ඉන්නකොට ඒ වගේ ගෙරවිලි ඔය දේශපාලන වේදිකාවල වෙනවා. ඕවා බලන් ඉන්න බැරි නරි තමයි හූ කියන්නේ.”