hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 16, පෙ.ව. 6:29



හැටන් සතොස ශාඛාවෙන් රජයේ පාලන මිලට සහල් ඇතුළු අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය ඊයේ (15) දින නිකුත් කිරිමත් සමග එම අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍යය මිලදි ගැනිම සදහා පාරිභෝගිකයින් දිගු පෝලිම්වල රැදි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

සතොස ශාඛාව මගින් එක් පාරිභෝගිකයෙකුට සහල් කිලෝ 08ක්, රතු පරිප්පු කිලෝ 01 ක්, සිනි කිලෝවක් බැගින් සිමා කර අලෙවි කිරිමටයි එම සතොස ශාඛාවේ පාලන අධිකාරිය විසින් පියවර ගෙන තිබෙන්නේ.

සෑම පාරිභෝගිකයෙකුටම අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය පාලන මිලට ලබා දිම සදහා සිමා කර අලෙවි කිරිමට පියවර ගත් බවයි එම සතොස ශාඛාවේ සේවකයින් පවසා සිටියේ.

මේ අතර ඉදිරි දිනවලදී වෙළඳපොල තුල අල, ලූණු, පරිප්පු, සීනි සහ සහල් හිඟයක් ඇතිවිය හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසනවා.

මීට අමතරව, වියළි මිරිස්, කඩල සහ හාල් මැස්සන්ද හිඟ වියහැකි බවයි එම සංගමය සදහන් කළේ.

පසුගිය මැයි මස 06 වනදා සිට අතවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ගෙන්වීමේදි මෙතෙක් භාවිතා කළ විවෘත ගිණුම් ක්‍රමවේදය නතර කිරීමට රජය විසින් පියවර ගනු ලැබුවා.

එලෙස විවෘත ගිණුම් ක්‍රමවේදය නතර කිරීමත් සමඟ අතවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ඩොලර් ලබාගැනීමට අපහසු වී ඇති බවයි ආනායනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එමෙන්ම, ඉන්දියාව විසින් සීනි, තිරිඟු පිටි ඇතුළු තවත් භාණ්ඩ රැසක් අපනයන නතර කිරීම හේතුවෙන් ද වෙළද පලේ එම භාණ්ඩවල හිගයක් පවතිනවා.

මේ වන විට වෙළඳ පලේ සීනි සහ පරිප්පු මිල ගණන් ඉහල යාමට එක් හේතුවක් වී ඇත්තේ ද ඉන්දියාව භාණ්ඩ අපනයනය නතර කිරීමයි.

දැනටත් වෙළඳ පොලේහි සහල් පරිප්පු ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සීමා සහිතව නිකුත් කිරීමට වෙළද සැල් හිමියන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, රජය විසින් පාලන මිල ගණන් යටතේ සතොස මගින් භාණ්ඩ ලබාදෙන බවට දැනුම් දී තිබුණද පාරිභෝගිකයින් චෝදනා කරන්නේ ප්‍රමාණවත් පරිදි භාණ්ඩ නොමැති බවටයි.

මේ අතර ජනතාව බඩගින්න නිවා ගන්නට ආහාරයට ගන්නා සුඛෝපභෝගී නොවන සාමාන්‍ය එළවළු මාළු සහ කරවල ආදියේ මිල අදහා ගන්නට බැරි තරමට වැඩි වී තිබෙන ආකාරය දැකගත හැකි වෙනවා.

අද වන විට සුපිරි වෙළෙඳසැල්වල සහ සාමාන්‍ය වෙළෙඳපොළේ බඩු මිල අතර ලොකු පරතරයක් දක්නට නොලැබෙන අතර සුපිරි වෙළෙඳසැල්වල බොහෝ එළවළු රාක්ක හිස් වී පවතින අයුරුද දැකගත හැකියි.

මීට මාස කිහිපයකට පෙර රුපියල් 100 නොඉක්ම වූ ඇතැම් එළවළු කිලෝවක මිල මේ වන විට රුපියල් 1000 ට ආසන්න වෙමින් පවතිනවා.

මාළු මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

සුපිරි වෙළෙඳසැල්වල රුපියල් 250කට පමණ අලෙවි වූ බිත්තර දහයක අසුරනය මේ වන විට රුපියල් 515ක්.