hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 07, පෙ.ව. 10:46



රටේ පාසල් දරුවන්ගෙන් ලක්ෂ තිහකට ආසන්න පිරිසකට පොත්පත් ඇතුළු උපකරණ  ගැනීමේ දුෂ්කරතා හේතුවෙන්   අධ්‍යාපන කටයුතු නිදහසේ කරගෙන යෑමට  බාධාකාරී තත්වයක්  මතුවීමෙන් දැඩි සේ පීඩාවට පත්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවා.

මේ ගැටළුව සම්බන්ධයෙන් පාලකයන් මෙන්ම පාර්ලිමේන්තුවද  විශේෂ අවධානය යොමු කර එම උපකරණ සහන මිලට ලබා ගැනීම සඳහා කඩිනම්  වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ඉල්ලීමක් කළ මන්ත්‍රීවරයා පාසල් උපකරණ ප්‍රශ්නය හේතුවෙන් දරුවන් විශාල පිරිසක් පාසල් අධ්‍යාපනයට සමුදී ඇතැයිද සඳහන් කළා.

මේ තත්වය සැලකිල්ලට ගෙන පාසල් දරුවන් වෙනුවෙන් අඩු මිලට පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් පාසල් මට්ටමින් වහාම ක්‍රියාත්මක කරන්නැයි විශේෂ ඉල්ලීමක් කරන මන්ත්‍රීවරයා ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දෙස් විදෙස් දානපතියන්ගෙන්ද සහාය ලබාගත හැකි බව ප්‍රකාශ කළා.

මේ අතර ඇතැම් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් දරුවන්ගෙන් අසීමිතව මුදල් අය කරන බවට තොරතුරු වාර්තාවී ඇති බවත් මවුපියන් දැඩි ආර්ථික පීඩනයක පසුවන හෙයින් සාධාරණ පන්ති ගාස්තු පැකේජ ක්‍රියාත්මක කරන ලෙස රටපුරා  ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ගාමිණී වලේබොඩ මහතා සඳහන් කර සිටියා.

ඇතැම් ගුරුවරුන් රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන්ට  නොමිලයේ අධ්‍යාපනය ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව පැවසූ මන්ත්‍රීවරයා එම ගුරුවරුන්ගේ ඒ මාහැඟි සේවාව අගය කරන බවද ප්‍රකාශ කළා.

ගාමිණී වලේබොඩ මහතා මෙසේද සඳහන් කර සිටියා,

“පාසල් උපකරණ ලෙස පොත්පත්, පෑන්, පැන්සල්, සපත්තු, පාසල් බෑග් මෙන්ම පාසැල් නිල ඇඳුම් දේශිය වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණයෙන් නිෂ්පාදනය කරපු සියලුදෙනාගේම නිෂ්පාදන හා ව්‍යාපාරික කටයුතු අමුද්‍රව්‍ය නොමැතිවීම, ඉතා ඉහළ  බැංකු පොලී අනුපාත වැනි හේතු නිසා ඇනහිට ඇත.මෙම පාසල් ද්‍රව්‍ය හිඟයට එයත් ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. මහබැංකුව සියලු දෙනාටම එක හැන්දෙන් බෙදීමත්  ආර්ථිකයේ ඇතැම් අර්බුද නිර්මාණය වීමට හේතු වී තිබෙනවා. රජයට කොපමණ පැහැදිලි කිරීම් කළත් රජය හා ප්‍රතිපත්ති සම්පාදකයන් මේ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැති එක කනගාටුවට කරුණක්.”