hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 6:30



‘ලොකු හාමුදුරුවෝ මරලා වාහන දෙක රුපියල් කෝටි 2කට විකුණලා ඩුබායි ඉන්න මගේ පෙම්වතිය ළඟට යන්න මම සැලසුම් කරගෙන හිටියා’ යැයි සීදුව වෑත්තෑව නන්දරාම විහාරාධිපති මැදගමුවේ මහානාම හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන 19 හැවිරිදි චීවරධාරියා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

මහානාම හිමියන් ඝාතනය කිරීමට සම්බන්ධවූ සැකකාර 19 හැවිරිදි චීවරධාරියාගේ ඩුබායි සිටින පෙම්වතියගේ මව සහ පියා අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විහාරාධිපති හිමියන් ඝාතනය කර ලබාගත් ඩිපෙන්ඩර් ජීප්රථය සහ වැගන්ආර් වර්ගයේ මෝටර් රථය රුපියල් කෝටි 2කට අලෙවි කර තිබියදී සීදුව පොලිසිය මගින් ඊයේ සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනයට සම්බන්ධ බව කියන 19 හැවිරිදි චීවරධාරියා ඒකල සුමනසිරි නමැති අයෙක්.

සැකකරු ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළේ රැඳී සිටියදී සීදුව පොලිසියේ ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විහාරාධිපති හිමියන් ඝාතනය කර ලබාගත් වාහන අලෙවිකර ඉපැයූ රුපියල් කෝටි දෙකක මුදල ඩුබායි සිටින සිය පෙම්වතිය වෙත යැවීමටද චීවරධාරියා සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට විහාරාධිපති හිමියන් ඝාතනය කර එම හිමියන්ට අයත් කෝටි ගණනක් වටිනා වාහන මුදල් සහ වටිනා දේ ලබාගැනීමට සැලසුම් කර ඇත්තේ 19 හැවිරිදි චීවරධාරියා, ඔහුගේ ඩුබායි පෙම්වතිය සහ ඇගේ මවුපියන් විසින්.

විහාරාධිපති හිමියන්ට අයත් වාහන දෙක තමන්ට ලබාදෙන ලෙස කියමින් චීවරධාරියා නිතර නිතර එම හිමියන් සමඟ ආරවුල් ඇතිකරගෙන තිබෙනවා.

මෙම ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි කීපයක්ම සීදුව පොලිසිය වෙත ලැබී තිබූ බවද පොලිස් ආරංචි මාර්ග කීය. වාහන දෙක ලබානොදීම නිසා විහාරාධිපති හිමියන් ඝාතනය කිරීමට මෙම කණ්ඩායම සැලසුම් කර තිබෙනවා.

චීවරධාරියාගේ ඩුබායි සිටින පෙම්වතිය මෙරට මුස්ලිම් ජාතිකයකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය ඩුබායි රාජ්‍යයට යවා ඇත්තේද එම මුස්ලිම් ජාතිකයා විසින් බව මේවනවිට හෙළිවී තිබෙනවා..

මෙම ඝාතනයට මුස්ලිම් ජාතිකයාගේද සම්බන්ධයක් තිබේදැයි පොලිසිය සොයා බලාගෙන යයි.

මේ අතර විහාරාධිපති හිමියන් ඝාතනය කර දේපොළ විකුණා ඩුබායි රාජ්‍යයේ සිටින පෙම්වතිය ළඟට යෑමට 19 හැවිරිදි චීවරධාරියා සැලසුම් කරගෙන සිට ඇති අතර ඒ සඳහා වීසා බලපත්‍ර මෙන්ම ගුවන් ටිකට්පත්ද කලින්ම ලබාගෙන තිබෙනවා.

ඩුබායි බලා යෑමට වීසා ලබාගැනීම මෙන්ම ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට උපකාර කර ඇත්තේ චීවරධාරියාගේ ඩුබායි පෙම්වතිය බවයි පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ.

විහාරාධිපති හිමියන් ඝාතනය කිරීමට චීවරධාරියාගේ පෙම්වතියගේ මව සහ පියා විහාරස්ථානයට පැමිණ ඇත්තේ ඉකුත් 12 වැනිදා දහවල්.

විහාරාධිපති හිමියන් ආවසගෙයි සිටියදී එහි කඩා වැදුණු චීවරධාරියා, ඔහුගේ පෙම්වතියගේ මව සහ පියා එම හිමියන්ට පහරදී තිබෙනවා.

පසුව විහාරාධිපති හිමියන්ගේ ගෙල සිරකර එම හිමියන් ඝාතනය කර ඇත්තේ ඩුබායි පෙම්වතියගේ මව සහ පියා විසින් බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

විහාරාධිපති හිමියන් ඝාතනය කර ලබාගත් වාහන දෙකෙන් ඩිපෙන්ඩර් ජීප්රථය එක්කෝටි තිස්පන්ලක්‍ෂයකට අලෙවි කර ඇති චීවරධාරියා වැගන්ආර් රථය ලක්‍ෂ 65කටයි විකුණා ඇත්තේ.

ඩිපෙන්ඩර් රථය මිලට ගත් පුද්ගලයා එම රථය තවත් පිරිසකට රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයකට අලෙවිකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයේ තිබියදීම චීවරධාරියා වාහන අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.

වාහන දෙක අලෙවි කර පසුව විහාරාධිපති හිමියන්ට අයත් මුදල් ඇතුළු තවත් වටිනා දේ ලබාගත් චීවරධාරියා පලාගොස් ඇත්තේ ඩුබායි රාජ්‍යයට යන සැලසුම් ඇතිවයි.

විහාරයේ ආවසගෙය දෙසින් දුගඳක් හමන බව දැනුණු ප්‍රදේශවාසීන් සීදුව පොලිසියට කළ දැනුම් දීමකට අනුව කළ විමර්ශනයේදී විහාරාධිපති හිමියන්ගේ දේහය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒවනවිට චීවරධාරියා අතුරුදන්ව සිටි අතර පොලිසිය එම චීවරධාරියා සොයා විමර්ශන ආරම්භ කළේ.

පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත චීවරධාරියාගේ ඡායාරූපයක් කටුනායක ගුවන්තොටුපොලේ ආගමන විගමන නිලධාරීන් වෙත ලබාදී තිබිණි.

ඒ අනුව ඊයේ අලුයම 1.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලායෑමට උත්සාහ කළ චීවරධාරියා කොටුකර ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

චීවරධාරියාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මේ ඝාතන සැලසුම සකස් කළේ ඩුබායි සිටින තම පෙම්වතිය විසින් බවයි.

විහාරාධිපති හිමියන් ඝාතනය කර ඩිපෙන්ඩර් රථය සහ වැගන්ආර් රථය ලබාගෙන ඒවා අලෙවිකර මුදල් ඩුබායි රටට එවන ලෙස පෙම්වතිය තමන්ට අවස්ථා කීපයකදීම තර්ජනය කළ බවද චීවරධාරියා පවසා තිබෙනවා.

විහාරාධිපති හිමියන් ඝාතනයට සම්බන්ධ ඩුබායි පෙම්වතියගේ මව සහ පියා සොයා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන පවත්වාගෙන යයි.