hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 10:27



සීදූව වෑත්තෑවේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැදගමුවේ මහානාම හිමියන් ඝාතනයට සැක කරන ගෝල හිමිනම ඊයේ (15) අලුයම ඩුබායි බලා පලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ ඝාතනයට සාමණේරයන් සමඟ ඔහුගේ පෙම්වතියගේ මවුපියන් සහ තවත් දෙදෙනකු සම්බන්ධ වී ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

හීනටියන පදිංචිකරුවන් වන ඔවුන් මේ වන විට පලාගොස් සැඟව සිටින බැවින් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර පෙරේදා (14) සවස හමුවන විට ගෝල හිමියන් විහාරස්ථානයේ තිබුණු ඩිෆෙන්ඩරයක් සහ වැගන් ආර් වර්ගයේ රථයක් සමඟ අතුරුදන් වී තිබීම හේතුවෙන් ඝාතනය සම්බන්ධයෙන් සැකය එල්ල වූයේ එම ගෝලහිමියන් වෙතයි.

එබැවින් උන්වහන්සේගේ ඡායාරූපයක් සමඟ තොරතුරු සීදූව පොලිසිය මඟින් ගුවන් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ දැනුම්වත් කර තිබෙනවා.

ඒ අධිකරණය හරහා නියෝගයක් ගන්නා තුරුයි.

මේ බව නොදත් උන්වහන්සේ ඊයේ (15) අලුයම 1.00ට පමණ ගුවන්ගත වීමට නියමිතව තිබුණු එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK-649 අංකය දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ 19 වැනි උපන් දිනය යෙදී තිබුණු දිනයේදීමයි.

විහාරාධිපති හිමියන් විසින් විකිණීමට තබාගෙන සිටි බව කියන ඩිපෙන්ඩර් රථය සහ වැගන් ආර් රථය අඹු සැමි යුවළ සිය භාරයට ගෙන වත්තල පැත්තේ බජී නමැති වාහන බ්‍රෝකර්වරයකුට දී ඇති බවද අනාවරණය වී තිබෙනවා.

එම කටයුත්ත සිදුවී ඇත්තේ ඩුබායිහි සිටින පෙම්වතියගේ හාම්පුතාගේ උපදෙස් මත බවට පොලිසිය සැක කරයි.

ඩිෆෙන්ඩරය ඔහුට විකිණීමට දී ඇත්තේ රුපියල් ලක්ෂ 135කටයි.

ඔහු එය ගම්පහ පැත්තේ අයකුට රුපියල් ලක්ෂ 150කට විකුණා ඇති බවද අනාවරණය වී තිබෙනවා.

එම ඩිෆෙන්ඩරය මිලදී ගත් තැනැත්තා එය ඊයේ වන විට සීදූව පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

වැගන් ආර්. රථය විකුණා ඇත්තේ රුපියල් ලක්ෂ 54කටයි.

එම මෝටර් රථය මෙතෙක් හමුවී නැහැ.

එය සොයා මේ වන විට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය පැවසුවා.

මේ වාහන දෙක අලෙවියෙන් ලද මුදල්වලට මෙතෙක් වූ දෙයක් සොයා ගැනීමට නැහැ.

පොලිසිය සැක කරනුයේ කොටසක් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි වෙත පෙම්වතියගේ හාම්පුතා විසින් ගෙන්වාගෙන ඇති බවයි.

මේ වාහන දෙක අලෙවි කර ඇත්තේද ව්‍යාජ ලෙස පැවරුම් ලේඛන සකස් කර බවද පොලිසිය සඳහන් කළා.

ප්‍රධාන පෙළේ විහාරාධිපති හිමිනමගේ ඝාතනය අභිරහසක් – සුපිරි ජීප් රියක් සමඟ හිමිනමකුත් අතුරුදහන්

සීදුවේ විහාරාධිපති හිමි ඝාතනය ඩුබායි සිට කළ මෙහෙයුමක්