hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 06, පෙ.ව. 8:42



තලංගම රෙදි පිළි, අලෙවිසලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවිසලක් ඉදිරිපිටදී  අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් 23 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් බවත් පොලිසිය සඳහන් කරනවා.

සැකකරුවන් පසුගිය 31 වැනිදා ඉන්දුනීසියාව බලා යෑමට සිටියත් ගුවන් ටිකට්පත්වල ප්‍රශ්නයක් නිසා නැවත කටුනායක ගුවන්තොටුපළෙන් හැරී ඒමට සිදුවී  ඇතැයිද පොලිසිය සඳහන් කර සිටිනවා.

අදාළ ගුවන් ටිකට්පත් ක්‍රෙඩිට් කාඩ් මඟින් වෙන්කර තිබීම නිසා එහි හිමිකාරිත්වය පිළිබඳ හටගත් ප්‍රශ්නයකින් ඔවුන්ට ගුවන් ගමනට බාධා පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන් උත්සාහ ගෙන තිබූ බව කියන්නේ යූ.එල්. 121 දරන ගුවන් යානයෙන් කටුනායකින් චෙන්නායි බලා ගොස් එතැන් සිට ක්වාලාලාම්පූර් හරහා ඉන්දුනීසියාවේ බාලි දූපතට යෑමට යැයි පොලිසිය විශ්වාස කරනවා.

තමා මෙම ව්‍යාපාරිකයාව දැන හඳුන ගත්තේ දුරකථන ඇප් එකක් මගින් බවද ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

ව්‍යාපාරිකයා තමාට එම ඇප් එක හරහා ඇමතුමක් ලබා දෙන විට රැදී සිටියේ දෙහිවල ප්‍රදේශයේ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

තට්ටු නිවාස සංකීර්ණයක දී දෙදෙනා හමුවී කතා බහ කිරීමට සූදානම් වුවත් ව්‍යාපාරිකයා තමාට පැලවත්තට පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව තමා කළුබෝවිල පිහිටි ඔසු හලකට ගොස් උපත් පාලන කොපු පැකට්ටුවක් ද රැගෙන පැලවත්තට ගිය බවත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බව සඳහන් වෙනවා.

මෙම නිවසට තමා ගියේ ඇයිදැයි කියා මෙන්ම ව්‍යාපාරිකයන් සමග පැවති සමීප හිතවත්කම් ගැන මෙන්ම තවත් බොහෝ දේවල් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පැවසුවත් ඒවා සියයට සීයක් ම සැබෑ කරුණු දැයි තහවුරු කර ගැනීමට විද්‍යාත්මක සාක්ෂි මෙන්ම තවත් බොහෝ විමර්ශන සිදු කිරීමට සිදුවන බව පොලිස් තොරතුරු සදහන් කළා.

ඒ අනුව ව්‍යාපාරිකයා ඝාතනය වූ නිවසේ තිබී හමුවූ භාවිතා කළ උපත් පාලන කොපුවේ ඇතුලත ඇති ද්‍රව්‍ය මෙන්ම එම කොපුවේ පිටත ඇලී ඇති ද්‍රව්‍ය ඩී.එන්.ඒ පරීක්ෂාවකට යොමු කිරීමට පවා සිදුවන බව උසස් පොලිස් නිලධාරීන් සඳහන් කළා.

සැකකරු පවසන ආකාරයට ව්‍යාපාරිකයාත් ඔහුත් නාන තටාකයේ බැස තිබෙනවා.එහිදී තමා ඔහුගෙන් මුදල් හදිස්සියකට යැයි කියා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටි බවද සැකකරුවෝ අපරාධ කොට්ඨාස නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

එතරම් මුදලක් ලබා දීමට නොහැකි බවත් මුදල් පසුම්බියේ ඇති කීයක් හරි දෙන්නම් යැයි ව්‍යාපාරික පැවසූ බවත් එහිදී ඇති ඇතිවූ යම් බහින් බස් වීමකින් පසුව පොල්ලක් අතට ගෙන ඔහුගේ හිසට පහරවල් දෙකක් එල්ල කළ බව ද සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා. එහිදී ඔහුගේ අත ද ඇඹරූ බව ඔහු පවසා තිබෙනවා.

තමා එල්ල කළ පොලු පහරින් ඔහු නාන තටාකය අසල බිම වැටුණු බවත් නැගිටීමට උත්සාහ ගත්තද පසුව නැගිට ගැනීමට නොහැකි වූ බවත් සැකකරු පවසා තිබෙනවා.

පසුව තමා ඔහුව පිහිනුම් තටාකයට ඇද දමා මුදල් පසුම්බිය සහ බෑගය රැගෙන ඔහුගේ මෝටර් රථයේ ම නැගී කොලොන්නාවට ගිය බව ද සැකකරු පවසා තිබෙනවා.

තමා ලොකු ප්‍රශ්නයකට මැදි වූ බව බිරිදට පවසා ඇති ඔහු දින කිහිපයකට රටින් පිටව යන බව පැවසූ බවත් බිරිද එහිදී තමාත් පැමිණෙන බව කී නිසා එම රැගෙන යාමට සිදු වූ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙම සැකකරු සිය බිරිඳව මෙම ඝාතන චෝදනාවෙන් ආරක්ෂා කරන ආකාරයෙන් ප්‍රකාශ ලබා දෙන බැවින් ඔහු කියන ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්විය යුතුව ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

සැකකරු පවසන තොරතුරු ව්‍යාජ විය හැකි බැවින් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව දැනගැනීමට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකාර අඹුසැමි යුවළ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසුවා.

ව්‍යාපාරිකයා ඉකුත් 30 වැනිදා අතුරුදන්ව තිබූ අතර  ඔහුගේ මළ සිරුර ඊට දින දෙකකට පසු  පැලවත්ත එම්.ඩී.එච්. පුර ඉදිිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවෙස පිහිටි භූමියේ නාන තටාකයේ පාවෙමින් තිබියදී තලංගම පොලිසිය මඟින් සොයා ගෙන තිබුණා.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී මෝටර් රථය, ජංගම දුරකථනය රැගෙන ගොස් තිබූ අතර මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයක් අසල නවතා තිබියදී සොයාගැනුණේ ඉකුත් 3 වැනිදායි.

අදාළ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු  කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියදී කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණට ලද තොරතුරක්  අනුව සැකකාර යුවළ  අත්අඩංගුවට ගෙන තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා හා එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නිශාන්ත ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.