hit counter

2025 දෙසැම්‍බර් මස 08 වන සඳුදා

2025 අගෝස්‍තු 13, පෙ.ව. 9:44



ඊයේ (11) දිනයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා’ නමැත්තා මීගොඩ ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තාගේ මෙහෙයවීම මත බවට පොලීසිය සැක කරයි.

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව තිබූ අතර ඉන් සුළු වේලාවකට පසු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසිය සමත්වූ අතර අපරාධයට යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගැනුණි.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔහු යතුරුපැදියෙන් බිමට පැන අසලවූ නිවසකට දිවගොස් තිබේ.

අසල්වාසීන් සිද්ධිය පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දීමෙන් පසුව පොලීසිය පැමිණ කඩිනමින් තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ඒ අතරතුරම පොලීසිය ක්ෂණික මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.

එහිදී තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී සැකසහිත සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ, එය අදාළ වෙඩික්කරු පැමිණි රථය බවටය.

ඒ අනුව මෝටර් රථයේ රියදුරු හා වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය තලංගම පොලීසිය සිය භාරයට ගත්තේය.

කෙසේවෙතත් ඒ වනවිට වෙඩික්කරු මෝටර් රථයෙන් බැසගොස් ඇති බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත.

එම තොරතුරු අනුව වෙඩික්කරු හා තවත් අයෙකු පසුව පොලිසිය මගින් අද පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රි’  46 හැවිරිදි හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර ඇති බව සඳහන් ය.

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බවද පොලිසිය සඳහන් කළේය.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව වාර්තා වෙයි.

ඝාතනය වූ පුද්ගලයා ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලීසිය පැවසීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නමැත්තාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් ඊට පළිගැනීමක් ලෙස බස් ලලිත් නමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: