hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 06, පෙ.ව. 9:13



ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා දිවයිනේ සියලුම යුද හමුදා කදවුරු කේන්ද්‍ර කොට වගා වැඩසටහනක් දියත් කොට ඇතැයි ආරක්ෂක මණ්ඩලික ප්රධානී ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.

මෙම වගා සංග්‍රාමය තුළින් යුද හමුදාවේ ආහාර අවශ්‍යතාවය මෙන්ම රටේ අවශ්‍යතාවයට හැකි උපරිම දායකත්වයක් ලබා දිය හැකි යැයි ඒ මහතා සඳහන් කළා.

යුද හමුදාපති ධූරයෙන් නික්ම ආරක්ෂක මාණ්ඩලික තනතුරට පත් ඒ මහතා ඊයේ (05) මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තා.

මල්වතු මහා විහාරයට පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්, මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි සහ පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

යම් ආහාර අවශ්‍යතාවයක් පැන නගින්නේ නම් ඒ සඳහා සක්‍රිය අයුරින් දායකවීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සිය උපරිම කාර්යයභාරය ඉටු කරන බව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී පැවසුවා.

ඉකුත් වසර දෙක තුළදී යුද හමුදාවේ ලක්ෂයක පමණ පිරිසකට උසස්වීම් ලබාදී ඇතැයි කී ඒ මහතා නිවාස නොමැති සෙබළුන් සඳහා හමුදා ශ්‍රම දායකත්වය යටතේ නිවාස ඉදිකර ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව ද සඳහන් කළා.

ත්‍රස්තවාදය නිමා කිරීමට මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ශවේන්ද්‍ර සිල්වා මහතා කළ දායකත්වය අමතක කළ නොහැකි යැයි මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් මෙහිදී සඳහන් කළා.

අනතුරුව ආරක්ෂක මණ්ඩලික ප්රධානී ශවේන්ද්‍ සිල්වා මහතා අස්ගිරි මහා විහාරයට පැමිණ එහිදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ද මේ අවස්ථාවට එක්වූවා.

මහනුවර – කමල් සුරවීර