hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 09, පෙ.ව. 11:35



වියට්නාමය ආසන්න මුහුදේදී අනතුරට ලක්වෙමින් තිබියදී බේරා ගත් යාත්‍රාවේ සිටි 300කට අධික සංක්‍රමණිකයන් පිරිස ශ්‍රී  ලාංකිකයන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

AFP පුවත් ඒජන්සිය උපුටා දක්වන අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, එම පිරිස සම්බන්ධයෙන් වියට්නාම් සමුද්‍රීය සෝදිසි සහ බේරා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අනාවරණය කර ඇති බවයි.

මියන්මාරයට අයත් මෙම ධීවර යාත්‍රාව වියට්නාමයේ වුං ටාඋ සිට නාවික සැතපුම් 250ක් දුරින් අනතුරට මුහුණ පා තිබෙනවා.

වියට්නාම් බලධාරීන් පවසා ඇත්තේ, අදාළ සංක්‍රමණිකයන් පිරිස කැනඩාව බලා යාත්‍රා කරමින් සිට ඇති බවයි. පැසිෆික් සාගරය ඔස්සේ නාවික සැතපුම් 6,000ක් පමණ දුරක් යාත්‍රා කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

මෙම යාත්‍රාව තුළට ජලය කාන්දු වෙමින් තිබී ඇති අතර නොවැම්බර් 5 වැනිදා තෙක් එය ප්‍රතිසංස්කරණය කර ගැනීමට නොහැකි වූ හෙයින් යාත්‍රාවේ කපිතාන් බව කියන පුද්ගලයකු ඊයේ දිනයේදී දුරකථනයෙන් අමතා සහාය ඉල්ලා තිබුණා.

ඒ අනුව, වියට්නාම් බලධාරීන්ගේ මැදිහත් වීමෙන් ආසන්නයේ යාත්‍රා කරමින් පැවැති ජපාන නෞකාවක ආධාරයෙන් අදාළ පිරිස බේරාගෙන තිබෙනවා.

එය බේරාගන්නා අවස්ථාවේ කලබලයට පත් විශාල පිරිසක් බෝට්ටුවේ බඳ මත එක්රැස් වී සිටි බව බලධාරීහු පවසයි.

මෙම යාත්‍රාවේ ළමයින් 20 දෙනකුද ඇතුළු පුද්ගලයන් 303 දෙනකු සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව වියට්නාමයට ගෙන ගොස් ඇත්තේ.