hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 14, පෙ.ව. 12:01



ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුවීම නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙනවා.

සීගිරිය ලෝක උරුමයක් වුවද සීගිරියේ නව නගරයේ පදිංචිකරුවන්ට මෙන්ම සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට ලෝක කරුමයක් බව ඔවුහු අවධාරණය කරනවා.

 මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟින් දේශීය සංචාරකයන් සඳහා වෙන්කර ඇති වාහන නැවතුම්පළ භූමිය සම්පූර්ණයෙන්ම වැසිකිළි උතුරා ගොස් අසූචි මිශ්‍ර ජලය පැතිරී දැඩි දුර්ගන්ධයක් හමා යන බවත් එම ජලය වෙළදසැල් ඇතුලෙන් ගලාබසින බව ජනතාව පෙන්වා දෙනවා.

මාස ගණනාවක සිට මේ තත්වය පැවතිය දඹුල්ල ප්‍රාදේශීය සභාවට මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනුම් දුන්නද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ගෙන නොමැති බව ඔවුහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මේ වන විට පොදු වැසිකිලි පද්ධති දෙකම සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර දේශීය සංචාරකයන්ගේ   සනීපාරක්ෂක කටයුතු හෝ සිදු කර ගැනීමට නොහැකිව පවතින බව ඔවුහු පෙන්වා දෙනවා.

මීට පෙරද අවස්ථා ගණනාවක දේශීය සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ඉදිකර දුන් මෙම භූමිය   පිළිබඳව ප්‍රවෘත්ති රැසක් වාර්තා  කර තිබිණ.

මෙම රථ ගාල ඉවත් කොට සීගිරියේ දෙස් විදෙස් සියලුම ජනතාවට එකම ස්ථානයක නව නගරයක් හෝ වාහන නැවතුම්පොළක් සකසා දෙන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම නව නගරයේ සැලසුම් සකස් කිරීම සඳහා වසර ගණනාවක සිට රාජ්‍ය මුදල් කොපමණ වියදම් කර ඇත්දැයි ඔවුහු ප්‍රශ්න කරනවා.

එහෙත් කිසිදු දවසක එම ඉදිකිරීම් හෝ නගරයේ කිසිදු සැලසුමක් නැති බවද පෙන්වා දෙන ඔවුන් සඳහන් කරන්නේ නව නගරයේ ඇති වෙළඳසැල් රැසක් මේ වන විටත් හිමිකරුවන් අතහැර දමා ඒවා කැඞී බිඳී විනාශ වී යන බවයි.

ලෝක උරුම බිම්කඩක් ලෙස නම් කෙරුණු ස්මාරකයද මේ වන විට විශාල ගස් කොලන් පැළවී විනාශ මුඛයට යන බව සීගිරියේ ජනතාව පෙන්වා දෙනවා.

සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරක එක් අයෙකුගෙන් රුපියල් 12,000කට ආසන්න මුදලක් අය කරන අතර දේශීය සංචාරකයකු එක් අයෙකුගෙන් රුපියල් 120ක් මධ්‍යම සංස්කෘතික අරමුදල උපයා ගන්නා බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන්  එකම රුපියලක් හෝ ප්‍රදේශයේ සංවර්ධනයකට යෙදවීමකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කිහිපයක් නඩත්තු කිරීම පමණක් සිදුකරන බව පෙන්වා දෙනවා.

 කෙසේවෙතත් මෙම වැසිකිළි පද්ධතිය මෙන්ම රථ ගාල දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරන බවත් එම භූමියේ පෞද්ගලික අංශයට ටෙන්ඩර් මගින් ලබා දී තිබෙන බවද පෙන්වා දෙනවා.

එහෙත් අසුචි සහිත වලවල් නිරන්තරයෙන් පිරී යාම නිසා ඔවුන්ට ගලි බහුසර දමා ඉවත් කිරීමේ කටයුත්ත ප්‍රාදේශීය සභාවෙන් සිදු කළ යුතු බව පෙන්වා දෙනවා.

මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරියෙකුගෙන් විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳව අවස්ථා ගණනාවක සැලසුම් කලද  වර්ෂාව ලැබෙන විටදී මෙම භූමිය ජලයෙන් යට වී වැසිකිළි වළවල් උතුරා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වී යෑම වළක්වාලීමට නොහැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: