hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 පෙබරවාරි 02, ප.ව. 1:07



ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ තවත් ඉහළට පැමිණ ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව, රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය නිකුත් කළ දූෂණ සංජානන දර්ශකය අනුව රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව 101 වන ස්ථානයේ සිටින බව පෙන්වා දී තිබෙනවා.

2022 දූෂණ සංජානන දර්ශකයෙහි ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය පහළින් ම සිටින අතර දූෂිත රටවල් අතර ඉදිරියෙන් ම සිටින්නේ දකුණු සුඩානය, සිරියාව සහ සෝමාලියාව බව දත්ත වාර්තාවල සඳහන් වෙනවා.

ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළු බාහිර මූලාශ්‍රම 13කින් ලබාගත් දත්ත අනුසාරයෙන් මෙම දූෂණ සංජානන දර්ශකය ගණනය කිරීම් සිදු කර තිබෙනවා.

මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගන්නා අතර දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 බෙහෙවින් දූෂිත අගය වන අතර 100 ඉතා පිරිසිදු අගය බව සඳහන්ව තිබෙනවා.

මෙම අගයන් දෙක අතර රටවල් ශ්‍රේණිගත කිරීම සිදුවන අතර 2022 වසරේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති දූෂණ සංජානන දර්ශක අගය 36ක් බව ත් එය 2021 වසරට වඩා ඒකක එකක අඩුවීමක් බව ත් මෙමගින් පෙන්වා දෙනවා.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ වාර්තා කර තිබූ අවම අගය වන 36 පසුගිය 2022 වර්ෂයේදී වාර්තා කර තිබීම කනගාටුදායක තත්ත්වයක් බවයි.

දූෂණයට එරෙහිව රාජ්‍යයන් කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇති නමුත් ඒ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ අවම රටවල් ප්‍රමාණයක් බව ද එම සංවිධානය සඳහන් කළා.

රටේ ආර්ථිකයට සහ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය මත අහිතකර ලෙස බලපා ඇති දූෂිත චෞර තන්ත්‍රය සහ පවත්නා ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමත් සමග සිවිල් සමාජය මර්දනය කිරීම තුළින් දූෂණය මැඩලීමට දේශපාලන කැමැත්තක් නොමැති බව පිළිබිඹු වීම යන හේතු මත ශ්‍රී ලංකාව ද මෙම ගණයට අය ත් වන බව ත් 2021 වසරේ රට පුරා ව්‍යාප්ත වූ ජන අරගලයක නිරත වූ ශ්‍රී ලාංකිකයන්, දූෂණය සහ දුර්වල ආණ්ඩුකරණය මගින් රටේ ආර්ථිකය සහ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය කෙරෙහි ඇති කරන දැඩි බලපෑම තේරුම් ගනිමින් සිටින බව ද මෙම දර්ශක වාර්තාවේ සඳහන්.

ජනතාව ජාතියේ බංකොලොත්භාවයට වගකිව යුතු අයට එරෙහිව විරෝධය දක්වමින්, දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි ආකාරය රජය සිහි තබාගත යුතු බව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අවධාරණය කර ඇත.

කඩා වැටී ඇති ආර්ථිකය යළි පණ ගැන්වීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා ඇති අතර ඒ සඳහා මූල්‍ය විනිවිදභාවය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශක්තිමත් දූෂණ විරෝධී නීතිමය රාමුව වැඩිදියුණු කිරීම තුළින් දූෂණ අවදානම් අවම කිරීමේ අවශ්‍යතාවද එහි පෙන්වා දී තිබෙනවා.