hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 30, පෙ.ව. 10:32



ශ්‍රී ලන්කන් ආයතනය විසින් මේ වන විට ණය වශයෙන් ගෙවීමට ඇති රුපියල් බිලියන 401ක් පමණ වන මුදල ගෙවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා අනුබද්ධ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා.

ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගම අන්තර්ජාතික බැඳුම්කරයක් මඟින් රජයේ ඇපකරයක් මත ලබාගෙන ඇති ණය මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක්.

මහජන බැංකුවට හා ලංකා බැංකුවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 386ක් වන අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම (AASL) හා ශ්‍රී  ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) යන සමාගම්වලට ගෙවිය යුතු හිඟ මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් මෙසේ ගෙවිය යුතු ණය මුදල අතර වෙනවා.

මෙම ණය පියවීමේ හෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ  හැකියාවක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත නොමැති බව වරාය, නාවික හා  ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළා.

වරාය අමාත්‍යාංශයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ සඳහන් කළ ඇමැතිවරයා, ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගතකරණය කොට, අවශ්‍ය ප්‍රාග්ධනය සමාගමේ කාර්යයන් සඳහා ලබා නොගතහොත්, ශ්‍රී  ලන්කන් ගුවන් සේවාව සම්පූර්ණයෙන්ම කඩා වැටීමටත්, මුළු සමාගමම වසා දැමීමටත් අනිවාර්යයෙන්ම සිදුවන බව පැවැසුවා.

දැනට ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ මෙරට විදේශයන්හි හා ගුවන් යානා තුළ පරිපාලන නිලධාරීන්, ගුවන් නියමුවන් (Cabin Crew), ගුවන් ඉන්ජිනේරුවන් ඇතුළු සේවක සේවිකාවන් 5,313ක් හා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලද 453ක් හා සේවා සපයන්නන් 604ක් පමණ සේවය කරන අතර ඔවුන්ගේ රැකියා අහිමිවීමට බොහෝ සේ ඉඩ ඇතැයිද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම්වල සේවය කරන සියලු දෙනාගේම රැකියා සුරක්ෂිතභාවය රැකදීම රජයේ වගකීමක් බවද හෙතෙම සඳහන් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ අනුබද්ධ සමාගමක් ලෙස භූමි සේවා කටයුතු (Ground handling) ක්‍රියාවලිය සඳහා පාලිත සමාගමක් ස්ථාපනය කොට, එයට භූමි සේවා කටයුතු සඳහා අවශ්‍ය සේවක ප්‍රමාණය හා චංවල දේපළ පවරා දීමට අපේක්ෂිත බව ඇමැතිවරයා පැවසුවා.

එකී සමාගමේ කොටස්වලින් සියයට 49ක් හෝ ප්‍රසම්පාදන කමිටුව තීරණය කරනු ලබන කොටස් ප්‍රතිශතය හා සමාගමේ කළමනාකරණය සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වන සුදුසු ආයෝජකයකුට ලබාදීමටත් අපේක්ෂිතයි.

පාරදෘශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමේ සියයට 49ක කොටස් හා එකී සමාගමේ කළමනාකරණය සුදුසු ආයෝජකයකු තෝරා එකී ආයෝජකයාට පවරාදීම සිදු කෙරෙන බව ඇමැතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ අනුබද්ධ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය ආයෝජකයන්ටද අවස්ථාව සැලසෙන අතර, දේශීය ආයෝජකයන් මේ සඳහා ආයෝජනය කරන්නේ නම්, ඔවුන්ට සියයට 49ට වඩා කොටස් ලබාගැනීමට හැකි බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසුවා.

මේ සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්, කැබිනට් අනුමැතිය ලැබුණු පසු මේ සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා ලබාගැනීම සිදු කෙරෙන බවත් ඇමැතිවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: