hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 06, පෙ.ව. 10:20



ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවූ අපේ රටේ කාන්තාවන් 225 දෙනකු මේ වනවිට එම ණය ගෙවාගත නොහැකිව සියදිවි හානිකර ගෙන ඇතැයි ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය පවසනවා.

නිල වශයෙන් වාර්තා වන එම ප්‍රමාණයට වඩා වැඩි තවත් පිරිසක් නිල නොවන වශයෙන් තම දරුවන් සමඟ පවා සියදිවි හානිකරගෙන තිබෙන බව හෙළිවී ඇතැයිද එහි කැඳවුම්කාරිනි නිරෝෂා ගුරුගේ මහත්මිය පැවැසුවා.

ඇය මේ බව කියා සිටියේ තම සංවිධානයේ මෙහෙයවීමෙන් ‘ගෙවන්න බෑ. ගෙවන්නෙ නෑ’, ‘ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු’ මැයෙන්  හිඟුරක්ගොඩ පැවැති සමුළුවකදීයි.

එහිදී තවදුරත් අදහස් දැක්වූ ගුරුගේ මහත්මිය,

“බලයට පත්වූ වහාම ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරේ කියන වාක්‍ය සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරගන්නට එදා සිද්ධවුණේ අප ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි. නමුත් එය වාක්‍යයකට පමණක් සීමා වුණා. රජයට නිශ්චිත වගකීමක් මේ තුළ තිබෙනවා. දැන් අපි තීන්දුවක් අරගෙන තියෙනවා. අපි ඒ තීන්දුව ක්‍රියාත්මක කරනවා. ඒ තීන්දුව තමයි ගෙවන්න බෑ. ගෙවන්නේ නෑ. මේක තමයි අභියෝගය රජයට අප ඉදිරිපත් කරන. අපිට ගෙවන්න ක්‍රමයක් නෑ. අපේ ආර්ථිකය වළපල්ලට වැටිලා ඉවරයි. තව මොනවද අපිට ගෙවන්න තියෙන්නේ. ඒ නිසා අපි අභියෝග කරනවා අපි ගෙවන්නේ නෑ. පුළුවන් දෙයක් කරන්න. අපි අපේ ජීවිත බිලි අරගෙන තියෙන මේ උගුලට අපි උත්තර හොයන්න ඕනෑ. පරණ නීතියක් අපි ඉස්සරහට ගේන්නේ.

මිනිසුන්ගේ ජීවිත සත පහකට මායිම් කරන්නේ නැති ව්‍යවස්ථාවක් අපි ඉස්සරහට ගෙනැල්ලා කියනවා අපි උඹලට නඩු දානවා කියලා. නඩු දාන්න ලක්‍ෂ 30ක් ඉන්නවා. පාලකයොන්ට අපිට කියන්න සිද්ධවෙලා තියෙන්නේ හිරගෙවල් කියන එක අපිට අලුත් නෑ. අරගලය කියන එක අපිට අලුත් නෑ. ඒ නිසා අපි හිර ගෙවල්වල යන්න සූදානම්. මේ අරගලය මේ ණය කපා හරින්නේ නැතිව අත්හරින්නේ නෑ. ඒක තමයි අපේ මේ ගමන අවසන් කරන තැන. මේ සමාජය වෙනස්විය යුතුයි. දුක විඳින මිනිහාට හෙට දවසේ ජීවත්වෙන්න පුළුවන් සමාජයක් අත්පත් විය යුතුයි කියලා විශ්වාස කරන සංවිධාන, සිවිල් පුරවැසියෝ විශාල සංඛ්‍යාවක් අප සමඟ එකතුවෙලා ඉන්නවා. ඒක නිසා මේක තවදුරටත් තනි වෙච්ච අරගලයක් නොවෙයි. ඒ නිසා තමයි අපිට ඔබට කියන්නේ දැන් අපි තනියෙන් කදුළු බිබී හිටපු කාලේ ඇති. දැන් අපි එකතු වෙමු කියලා. ඒ වෙනුවෙන් අපිත් එක්ක පෙළගැහිලා මේ අරගලය ජයග්‍රහණය කරවීමේ මාවත දක්වා අත්නොහැර අත්වැල් බැඳගනිමු කියන ඉල්ලීම කරනවා.”

නිදහස උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න, තරුණ නීතිවේදීන්ගේ සංගමයේ නීතිඥ දිනූෂා තිරාණගම, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර මූල්‍ය ණයලාභීන් වන සුනෙත් අරුණ, රම්‍යලතා විදානපතිරණ යන අයද මෙහිදී අදහස් දැක්වූවා.